කටාර් ශ්‍රමිකයාට නිවසක්



කටාර් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටියදී අනතුරට ලක් වූ ශ්‍රමිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකර භාර දීම අද (08) සිදුවිය.

වේයන්ගොඩ, රුක්මලේ ප්‍රදේශයේ කේ. සම්පත් කරුණාතිලක වෙනුවෙන්  මෙම නව නිවස ඉදිකර දෙනු ලැබුයේ අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් අනුවය.

සමිපත් මහතා 2010.11.15 වන දින කටාර් රාජ්‍යයේ මෝටර් කාර්මික රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෝටර් රථයක අළුත්වැඩියා කටයුතු සිදුකරන අතරතුරදී එම රථයේ තිරිංග බුරුල්වීම නිසා ඇතිවූ අනතුරක් හේතුවෙන් ඔහුගේ වම් පාදය අහිමි විය. ඔහුට මීට පෙර කාර්යාංශයේ රක්ෂණාවරණය යටතේ රු. 125000ක වන්දි මුදලක්ද ලබාදෙන ලදී.
ඔහු සතු බිම් කොටසක නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම නිවස ඉදිකළ අතර, කාර්යාංශයේ සහන නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 5ක ප්‍රතිපාදන මේ සඳහා වෙන් කර තිබිණි.

විදේශ රැකියා අමාත්‍යාශයේ සම්බන්ධීකරණ ලේකම් ඉන්ද්‍රජිත් විජේසූරිය මහතා අතින් එම නිවස කරුණාතිලක මහතා වෙත අද (08) පෙරවරුවේ පිරිනමන ලදී. මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) තරංග හෙට්ටිආරච්චි, කළමණාකරු (සුභසාධන) රසික ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාව සඳහා විදේශ ගතවීම නිසා මෙම ප්‍රතිලාභ ලබාදීමට හැකිවූ බවයි.

විදෙස් රැකියාව කරන අතරතුරදී සිදුවන කරදරවලදී කාර්යාංශ රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීමට හැකිවන බවත්, වෙනත් වරප්‍රසාද ලබාදිය හැකිවන්නේද මෙසේ ලියාපදිංචිවීම මගින් බවයි. එහෙයින් කාර්යාංශ ලියාපදිංචිය ලබාගෙන විදේශ ගතවී තමන්ට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ වගකීමකටද හිමිකම් කිව හැකිවන බවත් සඳහන් කළාය.  

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS