ඔස්ට්‍රේලියාව සමඟ එකඟතාවක්



විදෙස් රටවල රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන හෙද හා සාත්තු සේවක වෘත්තිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඔස්ට්‍රේලියාවේ ටැලිසියම් ආයතනය එකඟත්වය පළකොට ඇත.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඉකුත් 9 වැනිදා අස්සන් කරන ලද අතර කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ආර්.කේ. ඔබේසේකර මහතා ද, ටැලිසියම් ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිළධාරී ටෝනි බ්‍රෙනන් මහතා ද ඊට අස්සන් තබන ලදී.

ටැලිසියම් ආයතනය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් පුහුණු කිරීම සඳහා ලොව පිළිගත් ආයතනයක් වන අතර සාත්තු සේවය හා හෙද වෘත්තියට අදාළ පුහුණු වැඩසටහන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශ ගතවන ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීම මේ හරහා සිදුවේ.

පළමු අදියර යටතේ හෙද ක්ෂේත්‍රයේ සුදුසුකම් ඇති පුහුණු ශ්‍රමිකයින්ට වැඩිදුර පුහුණුවක් මෙමඟින් ලබා දෙන අතර, ඔස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට අනුකූල සහතිකපතක් නිකුත් කරයි. ඉන්පසු අදියරයන් යටතේ නුපුහුණු ශ්‍රමිකයින්ටද අවශ්‍ය පුහුණුව මෙම ආයතනය මඟින් ලබා දේ.
කාර්යාංශයේ මැදිහත්වීම මත මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර සියළුම පාඨමාලාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ටේලියානු මහකොමසාරිස් බෲස් හච්සන්, ජ්‍යෙෂ්ඨ වෙළඳ හා ආයෝජන කොමසාරිස් ලියොන් මුල්දාන්, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් වන ඩබ්.එන්.වන්සේකර, කිෂෝලි පෙරේරා, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) මංගල රන්දෙණිය යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS