ඒමට නොහැකිවූ ලාංකිකයින්ට නවාතැන්



කටාර් රාජ්‍යයේ සිට  ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව  අවලංගු කිරීමට  තීරණය කිරීමත් සමඟ අතරමංව සිටින එම ලාංකිකයින්ට වහාම නවාතැන් ලබා දෙන ලෙස රජය කටාරයේ සිටින වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයාට උපදෙස් දුන් බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

කටාර්හි සිට පැමිණීමට නියමිතව තිබූ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන අවලංගු කිරීමෙන් අනතුරුව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, අන්තර්වාර පියවරක් ලෙස, මෙම පියවර ගත් බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.

ඒ අනුව ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං ව. එම ලාංකිකයින් සියලු දෙනාටම වහාම නවාතැන් පහසුකම් සලසා දෙන ලෙසට තමන් කටාර්හි සිටින වැඩබලන තානාපතිවරයා හට උපදෙස් ලබා දුන් බවද හෙතෙම කීය.

කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින  70 කට පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග, කටාර් රාජ්‍යයේ සිට  ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව  අවලංගු කිරීමට  තීරණය කෙරිණි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS