ඉරානය සමඟ සිරකරු හුවමාරුවක්



ඉරානය සහ ශ්‍රී ලංකාව අතර  සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමකට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.

මීට අදාළව ඉරාන පාර්ලිමේන්තුවේ ඉකුත් ඉරිදා (16දා) පැවති ඡන්ද විමසීමක් පවත්වා ඇති අතර එහිදී සිරකරු හවුමාරු පනතට පක්ෂව ඡන්ද 153ක් හිමිව ඇති අතර පනතට විරුද්ධව ඡන්ද 11ක් ලැබී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. මෙම ඡන්ද විමසීමේදී තවත් මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිට තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඉරාන ජාතික සිරකරුවන් 15 දෙනෙකු සිටින අතර එරට බන්ධනාගාර වල ලාංකිකයින් තිදෙනෙකු සිටින බව වාර්තාවේ.

සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමකට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමත් සමඟ මෙම සිරකරුවන් හුවමාරු කර ගැනීමේ අවස්ථාවේ දෙරටටම හිමිවනු ඇතැයි එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර ඉරාන කතානායක අලි ලරිජානි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතර තුරදී මෙම සිරකරු හුවමාරු ගිවිසුම ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

(තිළිණි ද සිල්වා)

 


RECOMMEND POSTS