ඉරාන කථානායක එනවා



ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලි ලරිජානි මහතා හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ඉරාන මෙහෙර් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

ඉරාන කථානායකවරයා සමඟ එරට පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක්ද පැමිණීමට නියමිතය.

ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා වියට්නාමයේ සිදු කරන සංචාරයකින් අනතුරුව ලංකාවට පැමිණෙන අතර මෙම සංචාරය සඳහා ඉරාන කථානායකවරයා දැනටමත් ටෙහෙරාන් නුවරින් නික්මී ඇති බවද එම ප්‍රවෘත්ති සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ලංකාවට පැමිණෙන ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

විශේෂයෙන් සිරියාවට පසුගියදා බටහිර රටවල් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරය ජාත්‍යන්තර යාන්ත්‍රණයන් විසින් නොසලකා හැර ඇති බව ඉරානයේ අදහසය වන අතර එය අනාගත ගැටුම් වාතාවරණයන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ හේතුවෙන් වියට්නාම සහ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවලදී ඒ පිළිබඳවද සිය කථානායකවරයා අවධානය යොමු කරනු ඇති බව ඉරාන මෙහර් ප්‍රවෘත්ති සේවා වාර්තාවේ සඳහන් වේ.

එහිදී සාකච්ඡා කෙරෙන කරුණු ජාත්‍යන්තර තලයේ සාමය තහවුරු කිරීම සඳහා වැදගත් වනු ඇති බව ඉරානයේ මතයයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS