ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයකුට කොරෝනා



ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහාය සේවකයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද ඔහු මේ වනවිට රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බව ද එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ සේවකයා කාර්යමණ්ඩලය සමඟ ඉතා සමීපව කටයුතු කර නොමැති අතර ප්‍රධාන ගොඩනැගිල්ලට පැමිණ නැති තරම් බවත් එම නිවේදනයේ දැක්විණි. සෞඛ්‍ය පිළිවෙත්වලට අනුව ඔහුගේ මුල් ආශ්‍රිතයන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්-19’ වයිරසය ව්‍යාප්ත වීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සේවා කටයුතු සීමා කර ඇතැයි ද ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගොඩනැගිල්ල විෂබීජහරණයට ලක් කළ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

‘කොවිඩ්-19’ වසංගතය පරාජයට පත් කිරීම සඳහා හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමටත් සහයෝගයෙන් කටයුතු කිරීමටත් ඉන්දියාව සූදානම් යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


RECOMMEND POSTS