ඇපයට අත්සන් කළ අය අමාරුවේ



ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සේවා ස්ථානවලින් පැන ගොස් සැඟවී සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇප ගිවිසුමට අස්සන් කළ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

ඔවුනට ඒ බව දන්වා යවන බවත් එසේ පැන ගොස් මෙරටට නොපැමිණ සිටින තම ඥාතියා ගෙන්වා ගැනීමට සති දෙකක කාලයක් දෙන අතර එම කාලය ගතවූ වහාම ඇප අස්සන් කළ අයට එරෙහිව නඩු පවරන බව ද අතුකෝරල මහත්මිය කීවාය.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ගෙන්වා ගනු ලබන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් වන අතර එය මාස හතරත් හයත් අතර කාලයක් සඳහා පමණි.

2015 ට පෙර ගිය පිරිසක් යලි නොපැමිණ දේශපාලන රැකවරණ ඉල්ලීම හේතුවෙන් එරට රැකියා වෙළඳපොල මෙරටට අහිමි වූ බවත් මේ නිසා 2015 වසරේ රැකියා සඳහා යැවිය හැකි වූයේ 85 දෙනෙකු පමණක් බවත් පසුව තමන් එරට රජය සමඟ කළ සාකච්ඡාවලින් පසු යළි වෙළඳ පොල අයත් කරගත හැකි වූ බවත් අමාත්‍යවරිය කීවාය. එහෙත් යළි 2015 න් පසුව ගිය 31 දෙනෙකු පැන ගොස් ඇති බව එරට රජය දන්වා ඇතැයි ද අතුකෝරල මහත්මිය කීවාය.

මේ හේතුවෙන් එරට වෙළඳ පොළ අපේ රටට අහිමි වීමට ඉඩ කඩ  ඇතැයි එරට රජය දන්වා ඇතැයි කී අමාත්‍යවරිය තමන් මේ තීරණය ගත්තේ මේ හේතුවෙන් යැයි ද කීවාය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS