ආසියාන් සංවිධානයට වසර 52 යි



ශ්‍රී ලංකාව අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ ආංශික  සංවාද පාර්ශවකරුවකු කරගන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පසුගිය දා ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකාව අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ (ආසියාන්) සංවිධානයේ පාර්ශවකරුවකු කරගන්නැයි මීට පෙර ඉල්ලීම් ඉදිරිපත් වී තිබූ අතර එම ඉල්ලීම් සිහිපත් කරමින් ලේකම්වරයා ඒ බව කීය.

ආසියාන් සංවිධානය ආරම්භ කර වසර 52ක් සැපිරීම නිමිත්තෙන් කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවැති සැමරුම් උත්සවය අමතමින් විනාථ ආර්යසිංහ මහතා එම ඉල්ලීම කළේය.    

ශ්‍රී ලංකාව ආසියාන් සංවිධානයේ ආංශික සංවාද පාර්ශවකරුවකු කරගන්නැයි මේ වසරේ මාර්තු මාසයේදී ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාව ඊට අදාළ ලිපිගොනු ද ආසියාන් සංවිධානය වෙත යොමු කළේය.

ආසියාන් සංවිධානයේ රටවල් සමඟ ශ්‍රී ලංකාව ඉතිහාසයේ පටන්ම සබඳතා පැවැත්වූ බව ද රවිනාථ ආර්යසිංහ මහතා මෙහිදි සිහිපත් කළේය.

1967 වසරේ අගෝස්තු 8 වැනිදා තායිලන්තයේ බැංකොක් අගනුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය (ආසියාන්) සංවිධානය ආරම්භ කරන ලදි. අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් පස් දෙනකුගේ සහභාගීත්වයෙන් ආසියාන් සංවිධානයේ පළමු හමුව පැවැති අතර එහිදි බැංකොක් ප්‍රකාශනයට ද අත්සන් තබන ලදි. කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා කැපවීම කෙරෙහි එහිදි අවධානය යොමු කරන ලදි.

ආසියාන් සංවිධානය අද වනවිට කලාපයේ රටවල් අතර ආර්ථික, දේශපාලන, හමුදා සහ ආරක්ෂක, අධ්‍යාපන සහ සමාජ හා සංස්කෘතික අංශ අතර සහයෝගීතාව වැඩි කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැන් යැන්ග් තායි,  මියන්මාර තානාපති හන් තු යන මහත්වරුන් වියට්නාම තානාපතිනි පන් කියු තු හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් යන මහත්මීන් , රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS