ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනමින් යෝජනා ඉදිරිපත් කරන්න



උද්ගතව ඇති තත්ත්වය හමුවේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනමින් යෝජනා ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයේ සමයේ සක්‍රීය දායකත්වය දුන් හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පතිවරුන් ඇතුළු හිටපු ආරක්ෂක ප්‍රධානීන් හමුවෙමින් එලෙස යෝජනා ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ඇත.

ඉස්ලාමීය අන්තවාදය පරාජයට පත් කිරීමටත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් කඩිනමින් යෝජනාවලියක් සකසා දෙන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදි ඔවුන්ගෙන් ඉල්ලා ඇත. 

එම යෝජනාවලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට කටයුතු කරන බව ද මහින්ද රාජපක්ෂ මහතා පැය දෙකකට ආසන්න කාලයක් පැවැති එම සාකච්ඡාවේදී පවසා ඇත. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු යුද හමුදාපතිවරුන් වන දයා රත්නායක, ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරුන් ආචාර්ය ජයනාත් කොළඹගේ, වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය, චන්ද්‍රා ප්‍රනාන්දු, හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකීෂ්ඨ, ඇතුළු මහත්වරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS