ආධාර දීමේ වැඩසටහනක්



විදේශ රැකියා කර අවසන් වී මෙරටට පැමිණ ස්වයං රැකියාවල නියුතු වන ශ්‍රමිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කයන්හිදී පසුගියදා පැවැත්විණි.

ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාල්ල දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභින් 10 දෙනෙකු සඳහා රු.187,292.00ක් වටිනා ස්වයං රැකියා ආධාර ලබාදෙන ලද බවත් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 33 දෙනෙකු සඳහා රු. 711,599.87 ක ස්වයං රැකියා ආධාර , මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී බෙදා දුන් බවත් කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට  පැවැසීය.

මෙම වැඩසටහන මඟින් අලුතින් ආරම්භ කර පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා රු.25000ක උපරිමයකට යටත්ව ස්වයං රැකියා ආධාර ලබාදෙයි.  මෙවැනි වැඩසටහන් මඟින් කාර්යාංශය අපේක්ෂා කරනුයේ විදේශ රැකියා කර මෙරටට පැමිණි ශ්‍රමිකයින් ආර්ථික වශයෙන් ශක්තිමත් කර සමාජගත කිරීමට කටයුතු කිරීම බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම වැඩසටහනට කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) සෙනරත් යාපා, කළමණාකරු (ප්‍රත්‍යානුකලන) ගාමිණි කරුණාතිලක යන මහත්වරු සහභාගි වූහ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS