අයි.එස් ත්‍රස්ත ක්‍රියා වැඩිවීම ගැන කණස්සල්ලෙන්



අයි.එස්. සංවිධානය වැනි ත්‍රස්තවාදී සංවිධානවලින් ගෝලීය ආරක්ෂාවට එල්ල වී ඇති දැඩි තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය කණස්සල්ල පළ කර සිටියේය.

මෙරට සංචාරයේ නිරතව සිටි ඇමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා අතර පැවති හමුවකදී මෙලෙස කණස්සල්ල පල කර තිබිණි.

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර කොළඹ දී පැවැති දෙවන සහයෝගීතා සංවාදයෙන් අනතුරුව දෙපාර්ශවයම මෙම අදහස් පළ කර සිටියේය.

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට රජය කටයුතු කිරීම වඩාත් හොද ක්‍රියාවලියක් බව අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා පවසයි.

ඉන්දු - ශාන්තිකර කලාපයේ ආරක්ෂාව, ස්ථාවරභාවය, විනිවිදභාවය සහ ආර්ථික අවස්ථා ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර ඒකාබද්ධව පියවර ගැනීමට දෙරට විසින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා කියා සිටියේය.

එමෙන්ම උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික සහ බැලිස්ටික මිසයිල වැඩසටහන්වලින් ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජන පිළිබඳව ද දෙරටේ අවදානය මෙහිදී යොමු වුණි.

මේ  ශ්‍රී ලංකා පාර්ශවයේ ප්‍රධානත්වය දැරුවේ විදේශ කටයුතු ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතාය.

(තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS