අතුරුදන්ව සිටි තවත් කතක් සොයා ගැනේ



ගෘහසේවිකාවක ලෙස සවුදි අරාබියේ සේවයට ගොස් සිටියදී කිසිදු තොරතුරක් නැතිව සිටි තවත් කාන්තාවක් විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මියගේ ඍජු මැදිහත් වීම මත සොයා ගෙන මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී තිබේ.

වැල්ලවාය, වෙහෙරයාය, ඇතිලිවැව, සිරිපුරගම, එස් 29, ලිපිනයේ පදිංචි ටී. එම්. ශ්‍රියාකාන්ති මහත්මිය මෙසේ කිසිදු තෙරතුරක්  නොමැතිව සිටියදී සොයා ගෙන ඇත.

ඇයට වසර 14 ක් තිස්සේ නොගෙවා තිබු වැටුප් වෙනුවෙන් හාම්පුතාට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කර ඇයට හිමි හිඟ වැටුප් ලෙස සෞදි රියාල් 81,050 ක මුදලක් (රුපියල් ලක්ෂ 33 කට ආසන්න මුදලක්) අය කර දීමට කටයුතු කර තිබේ.

ශ්‍රීයාකාන්ති මහත්මිය 2002 වසරේ නොවැම්බර් 30 වන දින සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පිටත්වී තිබේ. වසර 14 ක් ගෘහසේවිකාවක ලෙස සේවය කලද හාම්පුතුන් ඇයට නිවස සමඟ කිසිඳු සම්බන්ධතාවයක් පැවැත්වීමට ඉඩක් ලබා දී නැත.

තම මව පිළිබඳ කිසිඳු තොරතුරක් නොමැති බව පවසමින් ශ්‍රියාකාන්ති මහත්මියගේ පුත්‍රයා අදාළ රැකියා නියෝජිත ආයතනයට පැමැණිලි කළත් ඒ පිළිබඳ කිසිඳු පියවරක් නොගැනීම හේතුවෙන් ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර විදේශ රැකියා අමාත්‍යතුමියගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ සෞදි අරාබියේ තානාපති කාර්යාලයේ නිළධාරීන් ඇය පිලිබඳ තොරතුරු සොයාගෙන ඇති බවත් කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඒ අනුව ඇය ඊයේ අළුයම  දිවයිනට පැමිණි අතර කාර්යංශයට පැමිණ ඇගේ හිඟ වැටුප් ලෙස ලැබුණු මුදල් කාර්යංශයේ සභාපති ආර් කේ ඔබේසේකර මහතා අතින් ලබාගත්තාය.

මේ පිළිබඳව අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය, මේ සම්බන්ධව කටයුතු කළ සෞදි අරාබියේ තානාපති කාර්යාලයේ නිළධාරීන්ට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ට සිය ස්තුතිය පල කළ අතර, මෙවැනි කරදර වලට ලක්ව සිටින විදේශගත ශ්‍රමිකයින් පිළිබඳ සොයා බලා ඔවුන්ට අවශ්‍ය සහන සලසීමට කඩිනමින් පියවර ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන්ට උපදෙස් දුන්නාය.

විනීතා එම් ගමගේ 


RECOMMEND POSTS