IMF ණය ලැබෙයිද ?



ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබා ගැනීමට බලාපොරොත්තුවන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමේ පළමු වාරිකය මේමස අග ලබා ගැනීමට හැකිවෙයිද? මේ පිළිබඳ සුබවාදී බලාපොරොත්තු මේවන විට පළවෙමින් තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු 7 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් අනාවරණය කර සිටියේ තමන් රටේ යුතුකම මේ වන විට ඉටු කර අවසන් අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සිය යුතුකම මේ මාසය අවසන් වීමට පෙර ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

IMF ණය පහසුකම ලබා ගැනීම සඳහා ප්‍රධාන බාධාවක්ව පැවතියේ ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා චීනයේ එකඟතාව ලබා ගැනීමය. මේවන විට එම අනුමැතියද ලැබී තිබේ.

චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය පසුගිය දා රාත්‍රියේ ලැබීමත් සමඟ තමා සහ මහබැංකු අධිපතිවරයා අත්සන් තැබූ එකඟතා ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කළ බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

දැනට රජය විසින් ගෙන යන මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කළ හොත් 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“ශ්‍රී ලංකාව බංකොලොත් ආර්ථිකයක් ලෙස එතැන් පටන් ක්‍රියාත්මක වුණා. එහි අයහපත් ප්‍රතිඵල ඔබ සැම මේ රටේ අත්වින්දා. ඉන්ධන පෝලීම්, ගෑස් පෝලීම්, විදුලිය කප්පාදුව, ආහාර හිඟය, ඖෂධ සපයා ගැනීමේ දුෂ්කරතා, උද්ධමනය, රුපියල කඩා වැටීම, දිළිඳු භාවය වැඩිවීම ආදී ගැටලු රාශියක් 2022 මැද භාගය වන විට මේ රට අත්වින්දා. නූතන ඉතිහාසයේ මෙවැනි ඛේදනීය තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොතිබූ බව සෑම කෙනෙක්ම පිළිගන්නා සත්‍යයක්.” ජනාධිපතිවරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ IMF ආයතනය සමඟ සිදු කරන ලද සාකච්ඡාවලදී එහි එකඟතාවය ලබා ගැනීම පිණිස පූර්වගාමීව සිදු කළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදු වු බවය. විදුලි මිල ගණන් සංශෝධනය, ඛණිජ තෙල් මිල ගණන් සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, උද්ධමනය පාලනය කිරීමට පොළී අනුපාත ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම, ඛනිජ තෙල් හා විදුලිබල ක්ෂේත්‍රයන්හි තරඟකාරීත්වය පුළුල් කිරීම ආදී කාර්යයන් රැසක් පූර්වයෙන් කළ යුතු ව තිබූ බවත් ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු එම කාර්යයන් මේ වන විට නිම කොට ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ “එසේම මේ රටේ ජනතාවට විඳීමට සිදු වූ අපහසුතා මම දන්නවා. ඒ පිළිබඳ ආණ්ඩුවක් ලෙස අපි සමාව ඉල්ලනවා. අපිට ඊයේ රාත්‍රියේ චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය ලැබුණා. ඒ අනුව එදිනම රාත්‍රියේ මමත්, මහබැංකුවේ අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් තබා IMF සංවිධානයට යොමු කළා. දැන් අපේ යුතුකම් ඉටු කර අවසන්. මේ මාසය අවසන් වීමට පෙර, හතරවන සතිය වන විට IMF සංවිධානය සිය යුතුකම ඉටුකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට ලෝක බැංකුවෙන් සහ ADB වෙතින් පළමු මුදල් වටය ලැබෙනවා.”

“IMF ආයතනය සමඟ මෙයට පෙර අවස්ථා 16ක දී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දී එකඟතාවය ලබා ගන්නා සෑම කාර්යක්ම මෙවර නොපිරිහෙලා ඉටු කළයුතු වෙනවා. එසේ නොවී නම් IMF ආයතනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ තත්වය යටතේ බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය මූල්‍ය ආයතන අප සමඟ කටයුතු කිරීමට ඉඩ කඩක් ඇති වන්නේ නැහැ.” ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ වැඩකටයුතු කරන්න. රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ පැවැත්වීම ගැටලුවක් නොවෙයි. නමුත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව මම කියන්න කැමතියි.”

“මම එකක් කිව යුතුයි, දැන් ඩොලර් මිල පහත බසිනවා. ජූලි 09 දා මේ රට කඩාවැටුණා නම් අද මේ තත්ත්වය තිබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ කාගෙවත් සහයෝගයක් තිබුණේ නැහැ. ඒ ගැන ක්‍රියා කළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මම මේ අවස්ථාවේ ස්තූතිය පළ කර සිටිනවා. ඔවුන් ගත් ඒ පියවර නිසා අද අපට ඉන්ධන තිබෙනවා, විදුලි බලය තිබෙනවා. ඒ වගේම වැඩිකල් යන්නට පෙර ඩොලර් තිබෙනවා. ඒ නිසා ඒ බලවේගවලට මේවා බිඳ දමන්න අප ඉඩ තබන්නේ නැහැ.

මම මේ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ ගමන යාමට අපිත් සමඟ එකතුවන්න කියා. මෙය ඉටුකරගත් පසු ජනාධිපතිවරණය ද , මහඡන්දය ද කවුද අවශ්‍ය කියලා අපිට ඊළඟ ඡන්දයේදී තීරණය කළ හැකියි. එය මේ රට තීරණය කරයි. ඒ වන තුරු ඔබ සූදානම් ද, නැද්ද කියලයි මම අහන්නේ. ඔබට පුළුවන් මෙය පිළිගැනීමට, ඒ වගේම ඔබට පුළුවන් මෙය ප්‍රතික්ෂේප කිරීමට.

විශේෂයෙන්ම ජුනි මාසයේ මැද වන විට රටේ ආදායම් තත්ත්වය සලකා බැලිය යුතුයි. එතැන සිට තමයි තීරණ ගත හැකි වන්නේ.

“විශේෂයෙන්ම IMF සංවිධානයේ එකඟතාව ලැබීමෙන් පසු මම එම ගිවිසුම සභාගත කර, යෝජනාවක් ගෙන එනවා, මේ සභාවට එය පිළිගන්න කියලා. ඒක තමන් තීරණය කරන්න, නැත්නම් වෙන විකල්පයක් අපට ලබා දෙන්න.”

“ඉන් අනතුරුව අපි නව කෙටුම්පතක් ගෙන එනවා ඉදිරි මාර්ගය සහ වැඩසටහන් පිළිබඳව. එය ජාතික සභාවටත් ලබා දෙන්නම්.” ජනාධිපතිවරයා පැවසීය.

මාස ගණනක අරගලයකින් සහ අභියෝගවලින් පසුව, IMF විසින් නියම කරන ලද කාර්යයන්(නිර්දේශයන්) 15ක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ මෙවැනි පසුබිමකය.

ඒ අනුව IMF නිර්දේශ කළ අවසන් අවශ්‍යතාවද පසුගිය සතියේ ඉටුකළ බවත්, ඒ සමඟ IMF සහන මල්ල ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය කාර්යභාරය ඉටු කර ඇති බවත් ජනාධිපති වික්‍රමසිංහ තහවුරු කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ, පසුගිය මස 21වැනිදා කොළඹ දී 'ව්‍යාපාරික සංසදයක්' අමතමිනි. IMF නිර්දේශ අතුරින් 15වැන්න වූයේ විදුලි ගාස්තු ඉහළ දැමීම බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

"පෙබරවාරි 15 දක්වා IMF අපට අවසාන දිනය ලබාදී තිබුණා. ඒ අනුව පෙබරවාරි 15 වෙනිදා සවස 06:00 වන විට අප එම අවශ්‍යතාව සම්පුර්ණ කර, අපෙන් බලාපොරොත්තු වූ සියල්ල සම්පූර්ණ වූ බව වොෂිංටන් වෙත දැනුම් දුන්නා. මේ ප්‍රශ්න 15න් එක ප්‍රශ්නයක් විතරයි ප්‍රමාද වුණේ. ඒ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයි. විදුලිබල මණ්ඩලය වසරකට රුපියල් බිලියන 230 ක පාඩුවක් ලබනවා. විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණයට මේ රටේ එක් පුද්ගලයෙක් විරුද්ධ වුණා. මේ නිසා IMF වෙතින් ආධාර ලැබීම සති හයකින් ප්‍රමාද වුණා. අපට පැවරී ඇති කාර්යයන් 15ම අවසන්. දැන් තියෙන්නේ IMF කාර්යභාරය. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරනවා.” යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මගින් දැකගන්නට ඇත්තේ, චීන සාධකය නොසළකා හැර වුවත් IMF විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය මුදල නිදහස් කරනු ඇතැයි රජය තවමත් අපේක්ෂාවෙන් පසුවන බවය.

අනෙක් අතට එලෙස IMF නිර්දේශයන් සියල්ල ඉටුකිරීම සහ IMF වෙබ් අඩවියේ දැක්වෙන, ණය හිමියන්ගේ එකඟතාවක් නොමැති අවස්ථාවලදී, අවශ්‍යතාවන් සහිත රටවලට ණය නිකුත් කිරීමේ ක්‍රමවේදයට අදාළ ප්‍රතිපාදනයන්ද එකිනෙක සමපාත වන බව පෙනීයයි.

එම නිසා ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් නවදිල්ලියේදී කරන ලද ප්‍රකාශයට පටහැනිව ශ්‍රී ලංකාවට IMF වෙතින් සතුටුදායක ප්‍රවෘත්තියක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කිරීමේ යම් ආකාරයක තර්කානුකූල බවක් පවතින බවද දැකගත හැකිය.

ශ්‍රී ලංකාව විසින් මෙලෙස IMF නිර්දේශයන් සියල්ල ඉටුකිරීම සහ එම කැපවීමේ ප්‍රතිඵලදායකභාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ බීබීසී සිංහල සේවය සමග මෙසේ අදහස් පළකළේය.

"දැන් පෙබරවාරි 15වැනිදා වෙනකොට IMF නිර්දේශ සියල්ල ඉෂ්ට කරන්න රජය කටයුතු කරලා තියෙනවා. දැන් IMF එකට පුළුවන් පවතින අවස්ථා මොනවද කියල සළකා බලන්න. කොහොම උණත් චීනය තමන්ගේ ණය සම්බන්ධයෙන් ලබාදීලා තියෙන සහතිකය ප්‍රමාණවත් නැති බව තමයි IMF එක ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙතැනදී IMF එකත් යම් ගැටලුකාරී තත්වයකට පත්වෙලා තියෙනවා. ඒ තමයි, චීනය ප්‍රමාණවත් සහතිකයක් ලබා නොදෙන නිසා ලංකාවට සහනයක් ලබානොදී ඉන්නවද කියන එක IMF සළකා බලන්න සිද්ධ වෙනවා. එහෙම නොදී හිටියොත්, මොකද වෙන්නේ. මේ වෙනකොට ලංකාව වගේම තවත් රටවල් ගණනාවක් මූල්‍ය අර්බුදවලට ගමන් කරමින් තියෙනවා. ලංකාව ගැන එහෙම තීරණයක් ගත්තොත්, අනෙක් රටවල් ගැනත් IMF එකට ගන්න වෙන්නේ එවැනිම තීරණයක්."
මෙම වසරේ මුල් භාගයේදී ඩොලර් බිලියන 2.6 ක් වටිනා බහුපාර්ශ්වික ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාව පියවර ගන්නා බව රජය කියයි

අනෙක් අතට චීනය නොසළකා හරිමින් අනෙක් ණයහිමියන් සමග එක්ව ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබාදුනහොත්, එය වක්‍රාකාරයෙන් චීනයට ලබාදෙන වාසියක් මෙන්ම, අනෙක් ණයහිමියන්ට කෙරෙන අසාධාරණයක් බවද ආචාර්ය දුනුසිංහ පෙන්වාදෙයි.

"චීනය අඩු සහනයක් ලබාදෙද්දී අනෙක් රටවල් ඊට වඩා වැඩි සහනයක් ලබාදෙනවා නම්, අනෙක් රටවල් ලබාදෙන සහනය වක්‍රාකාරයෙන් චීනයට වාසියක් වෙනවා. එතන තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා තමයි ණයකරුවෝ සියල්ල එක මතයකට එන්න ඕනේ කියල IMF එක කියන්නේ. හැබැයි චීනය තමන්ගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැත්නම්, එතකොට IMF එකට කරන්න පුළුවන් දේ තමයි, අනෙක් ණයකරුවන් සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ එකඟතාවක් ලබාගැනීම. IMF එක මෙතැනදී යම් ආකාරයක අතරමැදියාගේ භූමිකාවක් නිරුපණය කරනවා කිව්වත් හරි. මෙතන තියෙන්නේ එක පැත්තකට විතරක් තියෙන අවාසියක් නෙමෙයි. ලංකාවට දීලා තියෙන ණය ආපසු අයකරගන්න නම්, අනිවාර්යයෙන් ලංකාවේ ආර්ථිකය යළි සැකසෙන්න ඕනේ. එහෙම ආර්ථිකය සැකසෙන්න නම්, ලබාගෙන තියෙන ණයවලට සහනයක් ලබාදෙන්න ඕනේ. ඒ නිසා ලංකාවට සහනයක් ලබාදීම සම්බන්ධයෙන් අනෙක් පාර්ශව අතර එකඟතාවක් ඇතිකරගන්න චීනයේ ස්ථාවරය අදාළ වෙන්නේ නැහැ. අනෙක් ණයකරුවෝ කැමති නම් චීනයේ සහනය මත තමන්ට එකඟතාවක් ඇතිකරගන්න, එතකොට IMF එකට ලංකාවට ණයක් ලබාදීමේ හැකියාව තියෙනවා."

කෙසේවෙතත් චීන සාධකය මගහැර ණය මුදලක් නිදහස් කිරීමේදී, ශ්‍රී ලංකාව විසින් තවත් නිර්දේශ කිහිපයක් ඉටුකළ යුතු බවට IMF විසින් නව කොන්දේසියක් පැනවීමේ හැකියාවක් පවතින බව ද ආචාර්ය දුනුසිංහගේ අදහසයි.

"උදාහරණයක් විදිහට ලංකාවේ දේශීය ණයත් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියල ඉල්ලන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ණය විදිහට රුපියල් සීයක් තියෙනවා. මේ තියෙන තත්වය යටතේ ඒක ගෙවාගෙන යන්න බැහැ. එතකොට සීය හැටකට අඩුකරන්න ඕනේ. හැබැයි ණයකරුවෝ හැටකට අඩුකරන්න කැමති නැහැ. ඔවුන් අඩුකරන්නේ හැත්තෑව දක්වා පමණයි. එතකොට අපිට සිද්ධ වෙනවා තව දහයක් අඩුකරගන්න. කොහොමද ඒක කරන්නේ. එතැනදී තමයි අපිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් තවදුරටත් බදු වැඩිකරන්න ලංකාවට සිද්ධ වෙනවා. ඒ වගේ දේශීයව ණය තිරසාරභාවය ඇතිකරගන්න තවත් යම් යම් දේ කරන්න කියලා IMF එක ඉල්ලා සිටීවි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ඉල්ලීම තවම ආවේ නැති උණාට, ඉදිරියේදී ඒක එන්න ඉඩ තියෙනවා."

මෙවැනි ගැටලුසහගත ස්ථානයන් පැවැතියද, අවසානයේ IMF විසින් තවත් කොන්දේසි කිහිපයක් යටතේ හෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ණය අනුමත කරනු ඇති බව ආචාර්ය දුනුසිංහගේ ස්ථාවරය යි. ලබන මාසය(මාර්තු) ඇතුළත IMF විසින් එම සහනය ලබාදෙනු ඇති බවටද ආචාර්ය දුනුසිංහ අනාවැකි පළකරයි. එසේ නොමැතිව චීන සාධකය මත රැඳී සිට, ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කළහොත්, IMF නමැති ආයතනය පිහිටුවීමේ අරමුණු ප්‍රශ්නගත වන බව ඔහුගේ අදහසයි.

මෙහිදී අවධානය යොමුකළයුතු තවත් වැදගත්ම කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් IMF ණය වැඩසටහනේදී ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම වෙනුවෙන් සළකා බැලෙන්නේ, රටේ ද්විපාර්ශ්වික ණයහිමියන් පමණක් බවයි.

කෙසේවෙතත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන කිහිපයක බහුපාර්ශ්වික ණය අනිවාර්යයෙන් ආපසු ගෙවීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

කැබිනට් ප්‍රකාශක සහ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පසුගිය අඟහරුවාදා කොළඹදී ජනමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කරන ලද්දේ මෙම වසරේ මුල් භාගයේදී ඩොලර් බිලියන 2.6 ක් වටිනා බහුපාර්ශ්වික ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාව පියවර ගන්නා බවය.

එම ඩොලර් බිලියන 2.6ට ඩොලර් බිලියන 2 ක ණය මුදල් සහ ඩොලර් මිලියන 540 පොලී ගෙවීම් ඇතුළත්වනු ඇත.

එහෙත් පවතින දැඩි විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම ඩොලර් ප්‍රමාණය රැස්කර ගන්නා ආකාරය පිළිබඳව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ නැත.

ඒ අනුව චීනය විසින් වසර දෙකක කාලයකට පමණක් සිය ඩොලර් බිලියන 07කට වැඩි සිය සම්පුර්ණ ණය ප්‍රමාණයෙන්, ඩොලර් බිලියන 02කට අදාළ පොළිය පමණක් කපාහැරීමට නාමිකව කැමැත්ත පළකිරීම යන කාරණය විසින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් පවතින බව දැකගත හැකිය.

(බීබීසී-සිංහල)


RECOMMEND POSTS