සුපරීක්ෂාකාරී වන්නැයි උපදෙස්



මැදපෙරදිග කලාපයේ දැනට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන එම කලාපයේ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරී වන ලෙසට උපදෙස් ලබා දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මැදපෙරදිග ශ්‍රී ලංකා දූත මණ්ඩලය ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මෙම උපදෙස් ඇතුලත් වි⁣ශේෂ චක්‍රලේඛයක් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මැදපෙරදිග කලාපයේ රටවල් 12 පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 12 කට සහ එක් කොන්සියුලර් කාර්යාලය වෙත යවමින් මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව මෙම චක්‍රලේඛය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය , බහරේන යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ඊශ්‍රායල් ටෙල්අවිව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ජෝර්දානයේ අම්මාන් තානාපති කාර්යාලය , කුවේ⁣ටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ලෙබනනයේ බීරුට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , පලස්තීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යන ශ්‍රී ලංකා දූත මණ්ඩලය ප්‍රධානීන් වෙත ෆැක්ස් පණිවිඩ මාර්ගයෙන් යවමින් මෙම දැනුම් දීම කර ඇත.

එම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් ⁣⁣පෙන්වා දී ඇත්තේ  මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන මැදපෙරදිග කලාපයේ රටවල් වල වෙසෙන ලාංකිකයින් සුපරික්ෂාකාරී වන ලෙසත් , ජනතාව බහුලව රැස්වන ස්ථාන මගහරින ලෙසට උපදෙස් ලබා දෙන ලෙසය.

තවද තම ගුවන් ගමන් බලපත්‍රය සූදානම් කර ලග තබා ගන්නා ලෙසත් ලාංකිකයින්ට දැනුම් දෙන ලෙස එම චක්‍රලේඛය මගින් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා දූත මණ්ඩල ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් සෞදියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා කුවේටයේ  පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍යප්‍රධානීන් අද (09) අලුයම සිට විදෙස්ගත ලාංකිකයින් අතර වඩාත් ජනප්‍රිය ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයන් හි පවත්වාගෙන යන නිල ගිණුම් වල ත්‍රෛභාෂා වලින් අදාළ උපදෙස් අඩංගු නිවේදනයක් නිකුත් කර තිබිණි.

මේ වන විට ලක්ෂ 10 කට ආසන්න ලාංකික ශ්‍රමිකයින් පිරිසක් මැද⁣පෙරදිග කලාපයේ සිටින අතර ඉන් වැඩිම පිරිසක් සිටිනුයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.එරට සිටින ලාංකිකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකකි.ඊට අමතරව කටාරයේ ලාංකිකයින් 180,000ක්ද , සෞදියේ 137,000ක්ද , කුවේටයේ 120,000 ක්ද , ඕමානයේ 30,000 ක්ද බහරේනයේ 8000 ක්ද වශයෙන්  සිටින අතර සෙසු පිරිස කලාපයේ අනෙක් රටවල් වල සිටිති.

( තිළිණි  ද සිල්වා )


RECOMMEND POSTS

RELATED POSTS