ගමට ගිහින් වැඩ කරන්න



කොළඹ සිට ප්‍රතිපත්ති සකසන අයගේ මතය සහ ගමේ ජනතාවගේ අවශ්‍යතාව එකිනෙකට වෙනස් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

නිලධාරීන් වශයෙන් අප කළ යුත්තේ ජනතාවට ජීවත්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම බවත් නීතිරීති රැසක් හේතුවෙන් කඩිනමින් ජනතාවට සහන සැලසීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති රාජපක්ෂ මහතා එහිදි කීය.

රටේ විදේශ විනිමය ඉතිරි කරන්නේ වැඩ කරන ජනතාව යැයි කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළ දේශීය ආදායම වැඩි කරන්නේ ඔවුන් යැයි ද කීවේය.

ජනතාවගේ සහ නිලධාරීන්ගේ මතය එකිනෙකට වෙනස් බව ගමට ගොස් කතා කරන විට තේරුම් යන්නේ යැයි ද රාජපක්ෂ මහතා පැවැසීය."ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට "ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවැති වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කරුණු පැවැසීය.

එහිදි අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

‘‘බොහෝ වෙලාවට ආණ්ඩු පත් වුණාම ජනතාවගේ වැඩ කරන්නේ නැතුව බලයෙන් පහ කළාට පසුව ගමට යනවා, ගමේ ප්‍රශ්න කතා කරන්න. අපි පසුගිය වසර පහ තුළ විරුද්ධ පක්ෂයේ සිටින විට ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ ගම්වල තියෙන ප්‍රශ්න කතා කරලා, ඒවා අවබෝධ කරගෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. අපිට පසුගිය මැතිවරණවලින් ජනතාව විශාල ජයග්‍රහණයක් ලබාදුන්නා.

දැන් නැවතත් අපි ගමට යන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. අපි ඔවුන්ට පොරොන්දු වුණා ඔවුන්ගේ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබාදෙන්න. අපි අද කතා කරන්නේ අද රටේ සියයට 75ක් පමණ වන ජන කොටසක් ගැන. ඒ අය තමයි වී ගොවියො, කිරි ගොවියෝ, එළවළු ගොවියෝ සහ විවිධ පාරම්පරික කර්මාන්තවල යෙදෙන මේ රටේ වැඩ කරන ජන කොටස. ඒ අයගේ ජන ජීවිතය අපි රජයක් හැටියට ස්ථිරසාර කළ යුතුයි. ජීවනෝපාය සංවර්ධනය කරලා. මම හමුදා නිලධාරියෙක් වශයෙන් කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශවල ඉඳලා තිබෙනවා. එහෙත් මම එදා දැකපු ගම සහ අවරුදු 40කට පමණ පසුව දකින ගම අතර විශාල වෙනසක් නැහැ. එක් එක් කාලයේ පත් වුණ විවිධ ආණ්ඩුවලින් විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කළා.

එහෙත් සමස්ථයක් ලෙස තවමත් අපි බලාපොරොත්තු වන සංවර්ධනය ගම තුළ, ගමේ ජනතාව තුළ දකින්නේ නැහැ.අපි බලාපොරොත්තු වන්නේ ජනතාවගේ ජීවන රටාව ස්ථාවර කරන්න. මේ කාර්ය හරිහැටි සිදු නොවුණු නිසා තමයි අද ගම්වල ඉන්න තරුණ තරුණියන් රජයේ රැකියා බලාපොරොත්තු වන්නේ. ඔවුන්ට කෘෂිකර්මය ගැන, පාරම්පරික කර්මාන්ත ගැන විශ්වාසයක් නැහැ. එයට හේතුව තමයි පරම්පරා ගණනාවක් යනතුරුත් තවමත් ඔවුන්ගේ පවුල් දරිද්‍රතාවයෙන් පෙළි සිටීම. ඔවුන් දැකලා නැහැ කෘෂිකර්මාන්තය හෝ පාරම්පරික කර්මාන්ත හරහා ඔවුන්ගේ ජීවිත නගාසිටුවෙනවා. ඒ නිසා තමයි රජයක් හැටියට අපි මේ තත්ත්වය වෙනස් කළ යුතු වන්නේ. මේ ජනතාවට ස්ථිරසාර සංවර්ධනයක් ගෙන දෙන්නට රජයක් හැටියට නිලධාරින් හැටියට අපි සුදුසු වාතාවරණය සකස් කර දිය යුතුයි.

ග්‍රාමීය ජනතාවගෙන් වැඩි කොටසක් ඉන්නේ කෘෂිකර්මාන්තයේ යෙදෙන අය. මේ අයගේ අස්වැන්න වැඩි කරගන්න ජලය කළමණාකරණය ,වගා සඳහා අවශ්‍ය ඉඩම්, අස්වැන්න වැඩිකරගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, අස්වැන්න අලෙවිකරන්න හොඳ වෙළඳපොළක් ,අස්වැන්නට ස්ථිර මිලක් , අපි රජයක් හැටියට ලබාදෙන්න ඕන. අපි දන්නවා ගමක රාජ්‍ය නිලධාරින් කොපමණ ඉන්නවාද කියලා.

ඒත් අපි ගමට යන විට ඒ ගම්වල ජනතාවගේ ගැටලු එකක්වත් විසඳිලා නැහැ. එදා තිබුණ තත්ත්වය වෙනස් කරලා වැඩි අවධානයක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් යොමු කරන්න තමයි “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” වැඩසටහන අපි ආරම්භ කළේ. විශේෂයෙන්ම නිලධාරින් ලෙස අපි කළ යුතු වන්නේ ජනතාවට ජීවත්වීමට අවශ්‍ය පහසුකම් ලබාදීමයි.

නීතිරීති විශාල ප්‍රමාණයක් තිබෙන නිසා අපිට පුළුවන් කමක් නැහැ කඩිනමින් ජනතාවට අවශ්‍ය දේවල් ලබාදෙන්න. මේ වැඩ කරන ජනතාව තමයි රටේ විදේශ විනිමය ඉතිරි කරන්නේ. දළ දේශිය ආදායම වැඩි කරන්නේ. අපි ගමට ගිහින් ජනතාව සමග කතා කරන විට තේරුම් යනවා ජනතාවගේ මතය එකක් නිලධාරින්ගේ මතය එකක් ,කොළඹ ඉන්න ප්‍රතිපත්ති හදන අයගේ මතය එකක්. නමුත් ඒ ජනතාවගේ අවශ්‍යතාවය නොවෙයි.ඒ අයගේ පාරම්පරික ඉඩම් අපි කැලෑ කියලා වගාකිරීම තහනම් කරනවා. නමුත් අපි ඔවුන්ට කියනවා වගා කරන්න කියලා. පාරම්පරික හේන් ගොවිතැන කරන්න දෙන්නේ නැහැ.

රටේ කැලෑ වැඩි කරන්න ඕන කියලා. ඒ අයට ඔප්පු දෙන්නේ නැහැ. නිදහසින් පසු මේ වසර 70කට පසු තවමත් ග්‍රාමීයව තිබෙන ගැටලු. අපි කිරි ගොවියන්ට කියනවා කිරි නිෂ්පාදනය වැඩි කරන්න කියලා. හැබැයි ගවයන්ට තණකොළ කන්න කැලෑවකට යන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ඔවුන්ට තෘණ භුමි හදන්න ඉඩම් ලබාදෙන්න ඕන. නීති තිබෙන්න පුළුවන් එහෙත් නීති ක්‍රියාත්මක කරන විට අපි බලන්න ඕන ජනතාවගේ අවශ්‍යතා මොනවද කියලා. එක නිලධාරියෙක් කියනවා වගා කරන්න කියලා.

අනෙක් නිලධාරියා කියනවා වන ප්‍රදේශයට ඇතුළු වෙන්න බැහැ කියලා. තවත් නිලධාරියෙක් කියනවා නම් මෙතැන තමයි ගැටලුව තිබෙන්නේ. අපි මහජන නිලධාරින් හැටියට වඩාත් වැදගත් වන්නේ ජනතාව අතරට ගිහින් ගමේ ප්‍රශ්න විසඳලා දීමයි. විවිධ ප්‍රදේශවලට ආවේණික වූ විවිධ ප්‍රශ්න තිබෙනවා. සමස්ථයක් වශයෙන් ගත් විට ප්‍රධාන ගැටලු කිහිපයක් තිබෙනවා. ඒවා කඩිනමින් විසඳිය යුතුයි. විශේෂයෙන්ම ඉඩම් පිළිබඳ ප්‍රශ්නය. ඉඩම් පිළිබඳ අමාත්‍යංශය, වනජීවී අමාත්‍යංශය, වන රක්ෂණ අමාත්‍යංශය, වෙන වෙනම වැඩ කරන්න බැහැ.

මේ අමාත්‍යංශ එකට එකතු වෙලා මූලික අරමුණ තේරුම් අරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන.අපි කියනවා ආයෝජන ගේන්න කියලා. එහෙත් ආයෝජනයක් ආවාම ආයෝජකයාට වැඩ කරන්න දෙන්නේ නැහැ. විවිධ බාධක තිබෙනවා.

ගම්වල වගා කරන්න ආයෝජකයෝ ඉන්නවා. එහෙත් විවිධ හේතූ නිසා ඒ කාර්ය ඉටු කරන්න දෙන්නේ නැහැ. බොහෝ දේවල් වෙලා තිබෙන්නේ වැඩ නොකරන්න. මේ කාරණය මතක තියාගෙන නිලධාරින් ලෙස රටේ සංවර්ධනය උදෙසා ප්‍රමුඛත්වය දීලා ක්‍රියාකරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම අපි පොරොන්දු වුණා තාක්ෂණය ගමට ගෙනයනවා කියලා. ගොවි ජනතාවගේ අදායම ඉහළට ගෙන ඒම තමයි වැදගත් වන්නේ. ඒ අයගේ වගා කරන ඉඩම් ප්‍රමාණය වැඩි කර දිය යතුයි. වගා සඳහා අවශ්‍ය බීජ අපි නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා තාක්ෂණය අවශ්‍යයි. ඒ වගේම අපි කතා කරනනවා කාබනික කෘෂිකර්මාන්තය ගැන.

අපි කියනවා ගොවි ජනතාව පොහොර වැඩි වශයෙන් භාවිත කරනවා කියලා. තාක්ෂණය ගොවි ජනතාව අතරට ගෙනයන්න ඕන. ගොවියාගේ දැනුම වැඩි කරන්නත් නිලධාරින් කටයුතු කළ යුතුයි.ඩොලර් බිලියන 4.5ක් වසරකට ණය වශයෙන් ගෙවනවා.

ආහාර සඳහා ඩොලර් බිලියන 02ක් පිට රටට යනවා. ඩොලර් බිලියන 1.5ක් කිරිපිටි සහ එතනෝල් වැනි දේවල් ගෙන්වීමට වැය වෙනවා. අපිට පසුගිය වසරේ සංචාරක අංශයෙන් ලැබුණ ඩොලර් බිලියන 5ක පමණ ප්‍රමාණයක් අහිමි වුණා. කොවිඩ් වසංගතය නිසා අපි හිතුවා කර්මාන්තශාලා වහලා තිබුණු නිසා අපනයන ආදායමේ අඩුවක් වෙයි කියලා.

එහෙත් වාසනාවකට අපේ අපනයන ආදායම ඒ හා සමානව පැවතුනා. ආනයන වියදම අපි පාලනය කරගත්තා. මේ නිසා තමයි අපිට මෙරට වගා කළ හැකි දේවල් පිටරටින් ආනයනය කිරීම නවත්වලා ගොවීන්ව දිරිමත් කළේ. ඒ නිසා අපිට පුළුවන් වුණා අපනයන සහ ආනයන ප්‍රමාණය අතර වෙනස පාලනය කරගන්න. ඒ නිසා විදේශ විනිමය අනුපාතය පාලනය කරගන්න අපිට පුළුවන් වුණා.

මෙරට නිෂ්පාදනය කළ හැකි කෘෂි නිෂ්පාදන අපි මෙරටදීම නිෂ්පාදනය කරන්න ආරම්භ කරන්න ඕන.ඉලෙක්ට්‍රොනික් උපකරණ, වාහන මේ රටේ නිෂ්පාදනය කරන්න එකපාරටම හැකියාවක් නැහැ. එහෙත් කෘෂි නිෂ්පාදාන එක කන්නයක් තුළ මේ රටේ නිෂ්පාදනය කරන්න පටන් ගන්න පුළුවන්. සමහරු කියන්න පුළුවන් මේ දේවල් පිටරටින් ගෙන්වන්න කියලා නමුත් අපි පිටරට ගොවියාට යන මුදල අපේ රටේ ගොවියා අතට පත් කළ යුතුයි. ඒ නිසා තමයි අපි ගමට ගිහින් ගොවියාට අවශ්‍ය ජලය, පොහොර හා ඉඩම් කළමණාකරණය කරදෙන්න කටයුතු කරන්නේ. එය අපේ වගකීම.

යම් කෙනෙක් කියනවා නම් සහල්, ඉඟුරු, කහ, සෝයා, කව්පි පිටරටින් ගේන්න කියලා එය ඉතාමත් අසාධාරණයි. අපිට මේ දේවල්  එක කන්නයක් තුළ මේ රටේ වගාකරලා නිෂ්පාදන ජනතාවට ලබාදිය හැකියි.අපි දකිනවා විශාල වැව් ප්‍රමාණයක් උතුරු මැද, වයඹ පළාත්වල තිබෙනවා. එහෙත් මේ වැව් බොහෝ ප්‍රමාණයක් ගොඩවෙලා. අපිට යල මහ කන්න දෙකම කරන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා ජල කළමණාකරණය කරන්න පුළුවන්. එහෙත් ගොවියන්ගෙන් ඇහුවොත් කියන්නේ ජලය නැහැ කියලා. අපි මෙවර අයවැයෙන් කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කරලා තිබෙනවා.පසුගිය ආණ්ඩුවලින් විවිධ ව්‍යාපෘති සඳහා පිටරටින් ගත් ණය මුදල් අපි තවම ගෙවනවා. ඒ මුදල් තිබෙනවා. එහෙත් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ව්‍යාපෘතිභාර නිලධාරින් පවා සිටිනවා.

ඔබ ඒ ගැන හොඳින් දන්නවා. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක නොවන විට ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අමාත්‍යවරුන් , අමාත්‍යංශ ලේකම්වරුන් සහ නිලධාරින් සිදු කළ යුතුයි.හැම දිස්ත්‍රික්කයකටම මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා පානීය ජලය සඳහා. මාර්ග සංවර්ධනය සඳහා මුදල් වෙන් කර තිබෙනවා. තවමත් ඇතැම් ග්‍රාමීය මාර්ග තිබෙනවා ප්‍රතිසංස්කරණය කළ යුතු. ඒ වගේම ගමේ විවිධ අංශ වල තිබෙන සුළු ප්‍රශ්න නීති රීති නිසා විසඳන්න බැරුව තිබෙනවා. මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලලා කටයුතු කරනවා නම් මේ ගැටලු විසඳන්න පුළුවන්. මම මේ අයගෙන් ඉල්ලන්නේ වැඩිපුර ගමට යන්න. ගමේ ප්‍රශ්න කඩිනමින් විසඳන්න. ගමේ ප්‍රශ්න අපි හඳුනගෙන ප්‍රතිපත්ති හදලා අයවැය හදලා තියෙනවා, ඒවා දැන් ක්‍රියාත්මක කරන්න. අපි ජනතාවට සෞභාග්‍යයේ දැක්මෙන් පොරොන්දු වුණ දේවල් ඉටු කරමු.’’

එහිදි අදහස් පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

‘‘2021 අයවැය යෝජනාවෙන් අපි විශාල මුදලක් රටේ දේශිය කර්මාන්ත සංවර්ධනයට වෙන් කරලා තිබෙනවා. මේ අයවැයෙන් පොදු ජනතාවට මොනවත් නෑ කියලා අපේ විවේචකයෝ බොරු චෝදනා කළා. නමුත් මතක තියාගන්න අපි කොයි වෙලාවෙවත් නිකන් සල්ලි බෙදන ව්‍යාපෘති පටන්ගත්තේ නෑ. ඡන්ද බලාගෙන හදපු අකුරක්, කොමාවක් මේ අයවැයේ නෑ. අපි ඒ ප්‍රෝඩාව ජනතාවට කරන්නේ නෑ කියලා හැමදාම කියලා තියෙනවා.

මේ අයවැය වෙන් වෙන්නේ ගමේ ගොවියා, ධීවරයා, කර්මාන්තකරුවා ගොඩනගන්න. ඒ නිසා මේ අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න විදේශිය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ, විදේශිය උපදේශකයෝ අපිට අවශ්‍ය නැහැ, විදේශිය මූල්‍ය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ අයවැය යොජනා ක්‍රියාත්මක කරන්න ඉන්නේ අපේම රජයේ නිලධාරින්.

මේ අයවැය යෝජනා පොළොවට ගෙනියන්න ඉන්නේ ඔබ.මේක අමාරු වැඩක්. මේ අමාරු වැඩේ කරන්න වෙන්නේ ඔබට. ඔබ තමයි මෙතෙක් එය කළේ. ඒ අපේ රටේ ගමේ ජනතාවත් එක්ක. ඒ ජනතාව ව්‍යවසායකත්ව දැනුම ලබපු, විශාල පුහුණුවක් ලබපු, ආයතන වල වැඩ කරලා හුරුව තියෙන අය නොවෙයි. ඒ අයට ඔබට උදව් කරන්න සිදු වෙනවා. නිලධාරින් සහ ජනතාව අතර තියෙන පරතරය අවම කරගන්න වෙනවා. රජයේ නිලධාරින් වන ඔබත් ආණ්ඩුවේ අදහස තේරුම් ගන්න ඕන."ගම සමඟ පිළිසඳරක්" වැඩසටහන කරගෙන යනකොට අපිට තේරෙනවා ජනතාව ඉල්ලන දේ.

පොතේ තියෙන දේවලුයි, පරිපාලන රෙගුලාසිවල ,මුදල් රෙගුලාසිවල තියෙන දේවලුයි ජනතාව ඉල්ලන දේවලුයි අතර විශාල පරතරයක් තිබෙනවා. ඒවා ජනතාවගේ අවශ්‍යතා වලට ගැලපෙන ආකාරයට හසුරුවාගෙන වැඩ කරන අභියෝගය තමයි ඔබට තිබෙන්නේ. දැනට පවතින නීති හා රෙගුලාසි බොහෝමයක් යල්පැන ගිහින්.බොහොම දෙනෙක් හිතනවා අපි රූලෙන් පිට, නීතියෙන් පිට වැඩ කළොත් අමාරුවේ වැටෙනවා කියලා. යහපාලන ආණ්ඩුව මේ රටට කළ ලොකුම ද්‍රෝහිකම තමයි මේ රටේ රජයේ නිලධාරින් ජනතාවට සේවය කරන නිසා බන්ධනාගාර ගත කරපු එක.

මට මතකයි ජාතික ආපදා අවස්ථාවක ගංවතුර ආධාර බෙදුවා කියලා හිටපු හමුදාපතිවරයාව එෆ්.සී.අයි.ඩී එකට ගෙනල්ලා ප්‍රශ්න කළා. සිල් රෙදි බෙදා දුන්නා කියලා ජනාධිපති ලේකම්වත්, විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටවත් බන්ධනාගාර ගත කළා.

අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් ඔබ තේරුම් ගන්න සද්භාවයෙන් ක්‍රියා කරපු කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ආරක්ෂාව අපි ලබාදෙන බවත් .සිල් රෙදි නඩුවෙන් නිදහස් වුණ ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්වරයා ජනතාවට කිව්වේ මොකක්ද. සද්භාවයෙන් ජනතාවට සේවය කරන කිසිම වෙලාවක වරදින්නේ නැහැ කියන එක එතුමා ප්‍රකාශ කළා.

ඒ නිසා පවතින නීති රීති වලින් ඔබ්බට ගිහිල්ලා මේ මුදල් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පරිහරණය කරන විදිහ ගැන, පළපුරුද්දක් තියෙන ඔබ දන්නවා ඇති.අමාත්‍යංශවල ඇමතිවරයාත්,ලේකම්වරුත්, නිලධාරිනුත් අතර හොඳ සම්බන්ධයක් තියාගන්න ඕන. අපි විශාල තරුණ මන්ත්‍රීවරු පිරිසකට අවස්ථාව ලබාදීලා තිබෙනවා රාජ්‍ය ඇමතිවරුන් වශයෙන් කටයුතු කරන්න. අපේ ඇමතිවරු වැඩකරන විට අමාත්‍යංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුත් එක්ක සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඕන.

මේ අය ජනතාවගෙන් වගේම අමාත්‍යංශ නිලධාරින්ගෙනුත් ඉගෙන ගන්න ඕන.මට මතකයි 1978 ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් තේරුණ වෙලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ සංවර්ධන කමිටුවේ නියෝජිතයා හැටියට මාව යවන කොට කරපු දේ.

එදා එතුමිය දුරකථනය අරගෙන හම්බන්තොට දිසාපතිවරයාට කතා කරලා කිව්වා මහින්දව එවනවා අපේ ඉන්න ලාබාලතම මන්ත්‍රීවරයා එතුමාව බලාගෙන එතුමා එක්ක වැඩ කරන්න කියලා. ලාබාලතම මන්ත්‍රීවරයා වුණාට පාර්ලිමේන්තුව නියෝජනය කරාට සිරිමාවෝ මැතිණිය කිව්වේ නිලධාරින්ගෙන් ඉගෙන ගන්න කියලා.

මම මේ තරුණ මන්ත්‍රීවරුන්ටත්, ඇමතිවරු වෙච්ච තරුණ මන්ත්‍රීවරුන්ටත් මම කියන්නේ ඒ කාරණයයි.ඒ වගේම අපි ආණ්ඩුවක් කරගෙන යන විට රජයේ නිලධාරින්ම පමණක් නොවෙයි විශේෂඥ දැනුම තියෙන, කාර්යක්ෂමතාව තියෙන, තරුණකම තියෙන නොයෙක් පාර්ශව සම්බන්ධ කරගන්න ඕන. අපි කවුරුත් සාමූහිකව වැඩකරන්න ඕන. මතක තියාගන්න ආණ්ඩු යනවා එනවා. නමුත් රාජ්‍ය පවතිනවා.

ඒක තමයි සත්‍යය.කොරෝනා වසංගතය එක්තරා ආකාරයකට රාජ්‍ය සේවයේ ශක්තිය පරීක්ෂා කළ අවස්ථාවක් බව මම කියන්න ඕන. කොරෝනා වසංගතයට මුහුණ දෙන විට අපිට සිද්ධ වුණා උපරිම වශයෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් වැඩ කරන්න. ඒ තාක්ෂණය භාවිතා කරලා ජනතාවට සේවය කරන්න. විශාලම අභියෝගය වුණේ අධ්‍යාපනයට. ගුරුවරයාට ගෙදර ඉඳන් තමන්ගේ  දූදරුවන්ට උගන්වන්න සිදු වුණා.

මම කියන්න සතුටුයි මොන දුෂ්කරතාවය ආවත් මේ රටේ ගුරුවරු  ඒ අභියෝගය භාරගත්තා. ගෙදර ඉඳගෙන දරුවන්ව ගෙවල් වල තියාගෙන  ඉගැන්වූවා. ඒක රජයේ සේවයේ අය කරපු විශාල මෙහෙවරක්.පෞද්ගලික අංශයේ අය වගේම රජයේ සේවකයිනුත් ඔන්ලයින් ක්‍රමය යටතේ හොඳින් වැඩ කළා.

අපේ රටේ රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් සිය යුතුකම නිවැරදිව ඉටුකළා.මේකෙන් පේනවා රජයේ නිලධාරින්ට ඕනම මොහොතක අලුත් දෙයක් වැළඳගන්න, නම්‍යශීලිව වැඩ කරන්න පුළුවන් කියලා. සමස්ථ රාජ්‍ය සේවයම මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනෑ.

නූතන තාක්ෂණය රජයේ ආයතනවලට වේගයෙන් අනුගත කරන්න අවශ්‍යයි. ඒක අමාත්‍යංශ ලේකම්වරුන් වන ඔබගේ වගකීමක්. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනෑ. සෑම විටම නූතන තාක්ෂණය යොදාගෙන ජනතාව අතරට යන්න තමුන්නාන්සේලා උත්සහ කරන්න ඕනෑ. අපිට ඕනෑ කාර්යක්ෂම රටක්. දශක ගණනාවක් මගහැරුණු වැඩ  රාශියක් අපිට තියෙනවා ඉටු කරන්න.ඔබ දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන්ම විනිසුරුවරුන් විසිදෙනෙක් පසුගියදා ජනාධිපතිතුමා පත් කළා.

ඒ පත් කළේ මේ රටේ අධිකරණයේ ගොඩගැහිලා තියෙන විශාල නඩු ප්‍රමාණයක් ඉක්මණින් විසඳන්න. රටට යුක්තිය ඉටු කරන්න. ඒ යුක්තිය සියලු රාජ්‍ය ආයතන වලින් ඉටු කරන්න ඕන කියන කාරණය මම මතක් කරනවා. අපිට ඕනෑ බැනුම් අහන්නේ නැති රාජ්‍ය සේවයක්. අපිට ඕනෑ රාජ්‍ය වගේම ආණ්ඩුවත්, ආණ්ඩුව වගේම රාජ්‍යත් වගකීමක් ඇතුව ජනතාවට සේවය කරන තැනට ගේන්න.අපි බලයට පත් වුණ සෑම අවස්ථාවකම ජනතාව අපෙක්ෂා කළ වගකීම් අපි ඉටුකළා. අපි යුද්ධය අවසන් කළා. ආපස්සට ගියපු ආර්ථිකය හා සංවර්ධනය ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කළා. ඒ සෑම අවස්ථාවකදීම රාජ්‍ය සේවය අපිට උදව් කළා. ඉදිරියටත් මේ රට ගොඩනැගීමේදි තමුන්නාන්සේලාගේ උපරිම සහය අපි බලාපොරොත්තු වෙනවා’’.

කැබිනට් සහ රාජ්‍ය ආමත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


RECOMMEND POSTS

RELATED POSTS