කාන්තාවෝ 858 ක් ආපසු එති



විදේශ රටවල තානාපති කාර්යාල කම්කරු අංශ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල රැදී සිටි කාන්තාවන් 858 දෙනෙකු අද (11) දින වන විට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වාගෙන තිබේ.

ඒ අනුව ඉන් වැඩිම පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයෙන් වන අතර එම ශ්‍රමිකයන් සංඛ්‍යාව 588ක් වේ. සිය ගැටළුවලට විසදුම් ලැබෙන තෙක් තවත් ශ්‍රමිකයින් 146 දෙනෙකු එහි රැදී සිටිති.

සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැදී සිටි ශ්‍රමිකයින් 18 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, මේ වන විට තවත් 33 දෙනෙකු එහි රැදී සිටිති.

ජෙඩාහි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ සිටි කාන්තාවන් 12ක් දිවයිනට පැමිණ ඇති අතර, මේ වන විට කිසිදු ශ්‍රමිකයෙකු එහි රැදී නොසිටින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරිහු කියති. 

 

ඒ අනුව ලොව පුරා පිහිටි තානාපති කාර්යාල කම්කරු අංශ 12ක් යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල මේ වන විට රැදි සිටින ශ්‍රමිකයින් ප්‍රමාණය 263ක් බව ද නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු පවසති.

2019 මුල් මාස 6 තුළ ශ්‍රමිකයින් 95,908 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, ඉන් විදේශ ගතවී ඇති පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 56,526කි. එම ප්‍රමාණය විදේශ ගතවූ සමස්ත ප්‍රමාණයෙන් 59%වේ.

 ඒ අනුව පිරිමි ශ්‍රමිකයින් වැඩිම ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 16,626 ක් බව කාර්යාංශය සඳහන් කරයි.

2019 ජනවාරි සිට ජූනි දක්වා ගතවූ කාලය තුළ කාන්තාවන් 39,382 දෙනකු රැකියා සදහා විදේශ ගතවී ඇති අතර එය සමස්ත විදේශ ගතවීම්වලින් 41% කි. කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් රැකියා සදහා ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 14,948 කි.

2019 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ කුවේට්හි රැකියා සදහා ශ්‍රමිකයින් 20,601 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර කටාර් රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයින් 19,026 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

එසේම සෞදි අරාබියෙහි රැකියා සදහා ශ්‍රමිකයින් 16,747 දෙනෙකුද පිටත්ව ගොස් ඇති බව  ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

(මනෝජ් හර්ෂික)


RECOMMEND POSTS

RELATED POSTS