හිඟ වැටුප් ලක්ෂ 36 ක් දීලා



සෞදියේ අරාබියේ වසර 17 ක් තිස්සේ වැටුප් නොලබා සේවය කළ කාන්තාවකට හිමි හිඟ වැටුප ලෙස රුපියල් තිස්හය ලක්ෂයක්  ලබා දීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබේ. 

මෙය ඉතිහාසයේ හිඟ වැටුප ලෙස ගෘහ සේවිකාවකට ලබා ගත හැකිවූ විශාලතම මුදල බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි

මෙම හිඟ වැටුපට හිමිකම් කියන අඹන්පොල, අටවරල පදිංචි කේ. ජී. කුසුමාවතී මහත්මිය, අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීම මත පසුගිය දා දිවයිනට පැමිණියාය.

2000.09.23 වැනිදා ගෘහ සේවිකාවක ලෙස රැකියාව සඳහා සෞදි අරාබියට ගිය ඇය එදින සිට නාගරික සීමාවෙන් පිටත කාන්තාර ප්‍රදේශයක සේවය කර තිබේ. මුල් වසර 15 ක කාලය එහි එළුවන් හා බැටළුවන් බලාගනිමින් සේවය කර ඇත. එම වසර 15 තුළ මාස කිහිපයකට වතාවක් නිවසට දුරකතනයෙන් අමතා ඇති අතර, වසර එක හමාරකින් පසු නිවැසියන්ට කිසිඳු තොරතුරක් ලැබී නොමැත. ඒ පිළිබඳව ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කොට තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැනගත් අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය කුසුමාවතී මහත්මිය පිළිබඳව වහාම සොයා බලා කඩිනමින් දිවයිනට එවීමට කටයුතු කරන ලෙස සෞදි තානාපති කාර්යාලයේ කම්කරු නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නාය.

ඒ අනුව නිවැසියන් ලබාදී තිබු දුරකතන අංකයට තානාපති කාර්යාලයේ නිළධාරීන් ඇමතම් ලබාදී තිබූ අතර, ඇය වෙසෙන ප්‍රදේශය පිළිබඳව කිසිඳු අවබෝධයක් ඇයට නොතිබිණි. ඒ අනුව ඇය සොයාගැනීම දුෂ්කර වී ඇති අතර කෙටි කාලයකින් ඇයගේ දුරකතනයද විසන්ධි වී ඇත. ඇය සිටින ස්ථානය සොයාගැනීමට පෙරම තානාපති කාර්යාල නිළධාරීන් ඇයගේ වැටුප් හිමිකම් වෙනුවෙන් තායිෆ් ප්‍රදේශයේ කම්කරු උසාවියටද පැමිණිලි කර ඇත.

සෞදි ආගමන විගමන කාර්යාලයෙන් ඇයගේ හාම්පුතාගේ තොරතුරු ලබාගෙන සෞදි රහස් පොලිසියේද සහය ඇතිව තානාපති කාර්යාල නිළධාරින් කුසුමාවතී මහත්මිය සොයාගෙන තිබේ. ඇය සේවය කළ අතීෆ් පොලිස් ස්ථානයට ඇයගේ හාම්පුතා හා ඇය කැඳවීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ නිළධාරීන් විසින් ස්ථාවර කරුණු ඉදිරිපත් කරමින් ඇයගේ ශ්‍රමයට සරිලන ශ්‍රී ලංකා රජය අනුමත කර ඇති වැටුප් ලබාගැනීමට කටයුතු කර ඇත.

මෙම අවස්ථාවේදී ඇය විසින් මසකට රියාල් 400 බැගින් සියළු වැටුප් තමාට ලැබුණු බව ප්‍රකාශ කර ආරක්ෂාව පතා හාම්පුතා වෙත ලබාදී තිබූ රියාල් 38600 ක මුදලක පමණක් තමාට ලබාදෙන මෙන් ඉල්ලා තිබේ. නමුත් සෞදි රජය හා ශ්‍රී ලංකා රජය අත්සන්කර ඇති ද්වීපාර්ශවික ගිවිසුමට අනුව වරින් වර වැටුප් මුදල් වැඩිවී තිබෙන අතර, ඒ පිළිබඳව එරට පොලිසිය දැනුවත් කර සියළු හිඟ වැටුප් ලබාගැනීමට හාම්පුතා එකඟ කරගන්නා ලදී. ඇය ඉල්ලා සිටි රියාල් 38600ක මුදල හාම්පුතාගෙන් ලබාගෙන එදිනම ඇය සුරක්ෂා නිවාසයට රැගෙනවිත් තිබේ.

ඉකුත් 12 වැනිදා ඇගේ හාම්පුතා කොන්සල් කාර්යාලයට පැමිණි අතර, එහිදී පැවතී දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කුසුමාවතී මහත්මියට ලැබිය යුතු තවත් රියාල් 50000 ක් 2017.11.12 වන දින ගෙවීමට හාම්පුතාගේ ලිඛිත එකඟත්වය ලබාගන්නා ලදී. ඒ අනුව ඇයට ලැබිය යුතු මුළු මුදල රියාල් අසූ අටදහස් හයසීයයකි. එනම් රුපියල් තිස්හය ලක්ෂයකි. සේවක මහත්මියගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලිම මත ඇය පසුගිය 27 වැනිදා අළුයම 4.15 ට ඹඛ 282 දරණ යානයෙන් දිවයිනට පැමිණියාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මෑත ඉතිහාසයේ විගමණික ශ්‍රමිකයෙකුගේ හිමිකම් වෙනුවෙන් ලබාදිය හැකි වු ඉහළම හිඟ වැටුප් ප්‍රමාණය මෙය බවයි. මේ ගැටළුව සම්බන්ධයෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ වැඩබලන කොන්සල් ජනරාල්තුමා, තානාපති කාර්යාලයේ සියළු භාෂා පරිවර්තකයින් හා පළමු ලේකම් සුසිල් කුමාරපේලි යන මහත්වරුන්ට සිය ස්තූතිය පළකරන බවත් එසේම කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා යන ශ්‍රමිකයින්ගේ වගකීම රජය සතුවන බවත්, ඔවුන්ගේ හා ශ්‍රමික පවුල්වල ආරක්ෂාව  සම්බන්ධයෙන් හැකි සෑම විටම මැදිහත්වී කටයුතු කරන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS