සාම හමුදාවලට ශ්‍රී ලංකා හමුදා භට පිරිස් යැවීම අත්හිටුවන්න



එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට ශ්‍රී ලංකා හමුදා භට පිරිස් යැවීම අත්හිටුවන්නැයි ඉල්ලමින් යස්මින් සූකා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යොමු කර ඇත.

සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ ලෙස ඇය එම ලිපිය යොමු කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ඉකුත් දා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව පදනම් කරගනිමින් ඇය එම ලිපිය යොමු කර ඇත.

හමුදා භට පිරිස්වල පූර්ව පරීක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ආයතනයේ ස්වාධීනත්වය සහ විශ්වාසනීයත්වය සහමුලින්ම ඛාදනය වී ඇති බවට අදාළ වාර්තා පෙන්වා දී ඇතැයි ද ඇය සඳහන් කර ඇත.

‘‘හමුදා යෙදවීමට පෙර යෝග්‍යතා පරීක්ෂාවක් සිදු වී ඇත්දැයි සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව නීතියෙන් බැඳී සිටී’’ යැයි ඇය සඳහන් කර ඇත.

විදෙස් ගතවන ශ්‍රී ලංකාවේ භට කණ්ඩායම් සමුගැනීමේ පෙළපාලිවලදී යුද අපරාධකරුවකු බවට චෝදනා එල්ල වී තිබෙන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ආචාර කරන අයුරු දැක්වෙන ඡායාරූප දිගින් දිගටම පළ කර ඇතැයි ද අදාළ ලිපියේ සඳහන් ය.

ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කරන ලද්දේ ඊට විරුද්ධව පුළුල් ජාත්‍යන්තර විරෝධයක් තිබියදී යැයි ද එහි දැක්වේ.

ඇය ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ අවසන් සමයේදී සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කළාය. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS