ශ්‍රී ලංකාවෙන් පිට ගමන් අරඹයි



එමිරේට්ස් ගුවන් සේවය මෙම මස 20 වැනිදා සිට නැවතත් ශ්‍රී ලංකාවෙන් පිටතට මගී ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම පවසයි.

එමිරේට්ස් ගුවන් සේවය මේ වන විට ඩුබායි කේන්ද්‍ර කර ගනිමින් ආසියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව යන කලාප සම්බන්ධ ගමනාන්ත 30ක් වෙත මගී ගුවන් ගමන් පවත්වාගෙන යනු ලබයි.

සෙසු රටවල් ගුවන්තොටුපල විවර කළ සැනින් ගමනාන්ත ජාලය තවත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ද එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව එමිරේට්ස් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපල දක්වා මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවාවන් 2 ක් දක්වා ලබන 20 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම බෝයිං 777-300 ගුවන් යානයක් යොදා ගනිමින් ආරම්භ කරන බව එම සමාගම නිවේදනය කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංචාරය කරන මගීන් එරට නේවාසික අවශ්‍යතා සපුරාලිය යුතු අතර එම රාජ්‍යය හරහා සංක්‍රමණය වන මගීන් ගමනාන්තයට ඇතුළු වීමේ අවශ්‍යතා සැපිරිය යුතු බව ද එහි දැක්වේ.

ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරන අංක EK 2528 දරණ යානය සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම ඩුබායි සිට කොළඹ බලා පැමිණෙන අතර එය ගුවන් ගමන් අංක EK 2529 ලෙස සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම ඩුබායි වෙත ලඟාවන බවත් එමිටේස් සමාගම පවසයි.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කලාපීය කළමණාකාර චන්දන ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සාමාන්‍ය මගී ගුවන් යානා පැමිණීම අත්හිටුවා ඇති පසුබිමක මෙම ගුවන් ගමන් ආරම්භය ඉතා වැදගත් පියවරක් බවයි.

ගුවනේදී මෙන්ම ගුවන් තොටුපලේදීද වැඩිදියුණු කළ සනීපාරක්ෂක සහ ආරක්ෂක ක්‍රම යොදා ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත නැවත පැමිණෙන නේවාසිකයන් සපුරාලිය යුතු කරුණු https://www.emirates.com/ae/english/help/flying-you-home/වෙබ් අඩවියෙන් හා එමිරේට්ස් ගුවන් ගමන් සහ වත්මන් සේවාවන් පිළිබඳව www.emirates.com/wherewefly වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ද එම සමාගම පවසයි.

කොවිඞ්-19 වසංගතය සමඟ වාණිජ ගුවන් ගමන් ඇනහිටීමෙන් පසු මෙරට සැපයුම් දාමය විවෘතව තබාගෙන අපනයනයන්ට උරදීම සඳහා ශ්‍රී ලංකාව වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට එමිරේට්ස් ගුවන් ගමන් 2020 මැයි 11වන දින ආරම්භ වූ බව ද චන්දන මහතා පැවසීය.

එමිරේට්ස් 1986 අප්‍රේල් 1 වනදා සිට තම සිව්වන විදෙස් ගමනාන්තය ලෙස කොළඹ දක්වා සේවාවන් ආරම්භ කළ අතර කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මගී ගුවන් ගමන් තාවකාලික නතර කිරිමට පෙර මහාද්වීප 6ක ගමනාන්ත 159ක ගෝලීය ජාලයක් සම්බන්ධ කරමින් කොළඹ සිට සහ කොළඹ වෙත දිනකට ගුවන් ගමන් 4ක් පවත්වා ගෙන ගිය බවද ඔහු කීවේය.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS