වැටුප් නොලබා ඇවිල්ලා



විදේශ රැකියා සඳහා ගොස් වසර ගණනාවක් කිසිඳු වැටුපක් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 123 දෙනකු 2017 වර්ෂය තුළදී දිවයිනට ගෙන්වාගෙන ඇති අතර, ඔවුන්ට රු.58,455,683.26 (රුපියල් පන්කෝටි අසූ හතර ලක්ෂ පනස් පන් දහස් හයසිය අසූ තුනක්) ක මුදලක් හිඟ වැටුප් වශයෙන් ලබාදී ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

මින් වැඩිම හිඟ වැටුප් ප්‍රමාණය වන රු.5,001,598.20 ක මුදල (සෞදි රියාල් 123000) ලබාදී ඇත්තේ සෞදි අරාබියේ සේවය කළ ජී. නිශාන්තිනි මහත්මියට බවත් ඇය ඇතුළු සෞදි අරාබියේ වැටුප් රහිතව සේවය කල ශ්‍රමිකයින් 110 දෙනෙක් දිවයිනට ගෙන්වාගෙන හිඟ වැටුප් මුදල් ලබාදී ඇති බවත් එම අමාත්‍යංශය කියයි.

කුවේට්හි වැටුප් රහිතව සේවය කළ ශ්‍රමිකයින් 9 දෙනෙක් ද, ඩුබායිහි වැටුප් රහිතව සේවය කළ ශ්‍රමිකයින් දෙදෙනෙක් ද, ජෝර්දානයේ වැටුප් නොමැතිව සේවය කළ ශ්‍රමිකයින් දෙදෙනෙක් හා කටාර් රාජ්‍යයේ සේවය කළ ශ්‍රමිකයෙකු දිවයිනට ගෙන්වාගැනීමෙන් අනතුරුව ඔවුනට ලැබිය යුතුවූ සියළු හිඟ වැටුප් මුදල් ලබාදී ඇතැයි ද එම අමාත්‍යංශය පවසයි. 

මීට අමතරව විදේශ රැකියා කරමින් සිටින අතරතුරදී රැකියා ස්ථානයේ ඇතිවූ ගැටළු හෝ වෙනත් හේතුමත තානාපති කාර්යාල සුරක්ෂා නිවාසවල රැඳී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2390 දෙනෙකු පසුගිය වර්ෂය තුලදී දිවයිනට ගෙන්වා ගෙන තිබේ. ඉන් වැඩිම ශ්‍රමිකයින් ප්‍රමාණය වන 867ක පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලයේ පිහිටි සුරක්ෂා නිවාසයෙන් වන අතර 2018 වර්ෂය වන විට තවත් 99 පිරිසක් පමණක් එම සුරක්ෂා නිවාසයේ ඉතිරිවී සිටිති.

එසේම සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා නිවාසයෙන් ශ්‍රමිකයින් 657ක ප්‍රමාණයක් 2017 වර්ෂය තුලදී මෙරටට පැමිණ ඇති අතර, තවත් 59දෙනෙකු පමණක් එහි ඉතිරිවී ඇත. එසේම ඕමාන් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයෙන් ශ්‍රමිකයින් 312ක් දිවයිනට පැමිණි අතර, තවත් 35ක් එහි ඉතිරිවී තිබේ. ඒ අනුව දිවයිනට පැමිණිම සඳහා 2018 වර්ෂය වන විට සුරක්ෂා නිවාසවල ඉතිරිවී සිටින ශ්‍රමිකයින් ප්‍රමාණය වන්නේ 250ක් පමණි.

එම පිරිසද අවශ්‍ය කටයුතු අවසන්වීමෙන් අනතුරුව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

විනීතා එම්  ගමගේ

 


RECOMMEND POSTS