ලංකාව ඉරානය එක්ක නව භාණ්ඩ හුවමාරුවක



ඉරානය සමග නව භාණ්ඩ හුවමාරු ගිවිසුමකට එළඹීමට රජය තීරණය කර තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉරානයෙන් මිලදී ගත් ඉන්ධන ගාස්තු පියවීම සඳහා එරටට තේ අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒ. රංජිත් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉරානය සමඟ සාකච්ඡා කර ඇතැයි ද වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඉදිරියේදී ඊට අදාළ යෝජනාව, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මිලදී ගත් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉරානයට ගෙවීමට ඇති මුදල, ඩොලර් මිලියන 250 කට ආසන්න වේ.එහෙත් අමෙරිකාව, ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම හේතුවෙන් එරට බැංකු සමග ඩොලර් භාවිතයෙන් ගනුදෙනු කිරීමට හැකියාවක් නොමැත.

නව යෝජනාවට අනුව, මෙරට ප්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන ඉරානයට, අය කිරීමකින් තොරව තේ සපයන්නේ එම මුදල ඉන්ධන ගාස්තුවලට හිලව් කර ගැනීමේ අරමුණිනි.

වසර දෙකක කාලයකට යටත්ව එම ගිවිසුමට එළඹීමට සැලසුම් කර තිබේ.ඉරානයට අපනයනය කෙරෙන තේ සඳහා ලැබිය යුතු මුදල, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා තේ මණ්ඩලයට ගෙවනු ඇති.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS