රැකියා අහිමිවූ ශ්‍රමිකයින්ට වෙනත් රැකියා



කොව්ඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදුකිරිමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.

ඒ අනුව සැප්තැම්බර් 15 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරෙන චක්‍රලේඛනයක් මගින් මේ බව  කාර්යාංශය විසින් විදේශ රැකියා නියෝජිතයින් වෙත දන්වා ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශ රටවලදී රැකියා අහිමිව, රැකියා ගිවිසුම් කාලය අවසන්ව ලංකාවට නැවත පැමිණීමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින්ට එම රටේ වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය  විධිමත් අනුමැතිය ලබාදීමට පහසුකම් මෙමගින් සලසා තිබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.

මේ සඳහා අවශ්‍ය අනුමැතිය හා ආරක්ෂිත මුද්දරය ගමන් බලපත්‍රයට ලබාදීමේ කටයුතු, අදාල ශ්‍රමිකයා සිටින රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය මගින් ලබාගත හැකිවේ.

අවශ්‍ය ලියවිලි මෙරට සිටින රැකියා නියෝජිතයින් මගින් ශ්‍රමිකයා සේවය කිරීමට බලාපොරොත්තු වන ස්ථානයේ විදේශ නියෝජිතයින් වෙත යොමුකිරීමට කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඉහත පහසුකම ලබාගත හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

මෙරට විදේශ රැකියා නියෝජිතයින් හරහා අදාළ රටේ රැකියා නියෝජිතයා වෙත අදාළ ලියවිලි ලබාදීමට අවශ්‍ය පහසුකම්, මෙරට රැකියා නියෝජිතයාට ද මෙමගින් ලැබේ.රැකියා නියෝජිතයා වෙත රැකියා ඇනවුම් ලබාදීමේ ක්‍රමවේදයේ කිසිඳු වෙනසක් මෙමගින් සිදුනොවන අතර, නව රැකියා සඳහා එරටදී ලියාපදිංචි වීමේදී, පවුල් පසුබිම් වාර්තාවද (ගෘහ සේවයට) අවශ්‍ය නොවන බවද කාර්යාංශය කියා සිටී..

එසේම අවසන් අනුමැතීන් ලබාදීමේ අනෙකුත් සාමාන්‍ය නීතිරීතිවල කිසිඳු වෙනසක් මෙමගින් සිදුකර නොමැති බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කීය.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS