රටවල් 4 ක් සීමා ලිහිල් කරයි



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් හතරක් විසින් එම රටවල් වල පුරවැසියන්ට පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව චීනය, ඉන්දියාව, ජර්මනිය සහ ස්වීඩනය යන රටවල් විසින් සිය පුරවැසියන්ට මෙරට සංචාරය කිරීමේදී පනවා තිබූ සීමා එම රජයන් විසින් ඉවත් කොට ඇතැයි  සංචරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ලංකාවේ වර්තමානයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ස්විට්සර්ලන්තය පළමු වරට උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගත් අතර ඉන්පසුව චීනය ඉන්දියාව, , ජර්මනිය, ස්වීඩනය යන රටවල් මේ වන විට ලංකාව සම්බන්ධයෙන් වන සංචාරක සීමා ඉවත් කිරීමට හේතු වූ බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය කරුණකට හැරුණු විට මෙරට සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස එම රටවල් හතර සිය වැසියන්ට උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිටය.

කෙසේවෙතත් රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බැවින් මෙරට සංචාරය කිරීමේ දී පනවා ඇති අවදානම් නිවේදන ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගිය දිනවල මෙරට විදෙස් තානාපතිවරුන් හමුවී ඉල්ලීම් සිදුකර තිබුණි.

මේ වනවිට රට තුළ ආරක්ෂක තත්ත්වය තහවුරු වී ඇති බැවින් අදාළ තහනම ඉවත් කරගන්නා ලෙස ජනාධිතිවරයා සහ අගමැතිවරයා විසින් තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට ඉකුත් දා ඉල්ලීම් කර තිබුණි

එම ඉල්ලීම් සලකා බලමින් ශ්රීි ලංකාවේ සංචාරය කිරීමේ දී එරට ජනතාවට කර තිබූ අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට එම රටවල් පියවර ගෙන තිබේ.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයත් සමග “ ශ්‍රී ලංකාවට අත නොවන සංචාරයන් සිදුකිරීමෙන් වළකින” ලෙස ඉන්දියාව තම පුරවැසියන්ට  ලබාදී තිබූ නියෝගය ලිහිල් කර ඒ වෙනුවට “ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ප්‍රවේශම් වන ලෙසට ” වන නව සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත.

එසේම අනෙක් රටවල්ද පාස්කු ප්‍රහාරයෙන් පසු , ශ්‍රී ලංකාවේ අනවශ්‍ය සංචාරයන් සිදුකිරීමෙන් වලකින ලෙසට නියෝග කර තිබු අතර එය “ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලසීමාව තුළ දී තම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ අවධානයක් තබා ගත යුතුය ” යනුවෙන් සංශෝධනය කර ඇත.

මේ අතර ඉදිරියේ දී සංචාරය සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන්ට රක්ෂණාවරණය මෙරටින් ලබාදීමට පියවර ගන්නා බව සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතා පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරට සංචාරය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් සිය රටවල ජනතාවට සංචාරක අනතුරු ඇඟවීම් කර කිරීම  හේතුවෙන් විදෙස් සංචාරකයන්ට එම රටවලින් රක්ෂණාවරණය නොලැබූ බවධ හෙතෙම කීය.

මේ තත්ත්වය සැළකිල්ලට ගෙන රටේ ආරක්ෂක තත්ත්වය ද සමනය වී ඇති බැවින් විදෙස් සංචාරකයන්ට මෙරටින් රක්ෂණාවරණය ලබාදී වැඩි සංචාරක ආකර්ෂණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS