මිසයිලය හෙළා දකී



එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා උල්ලංඝණය කරමින් උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීම ශ්‍රී ලංකා සහ දකුණු කොරියානු රාජ්‍ය නායකයින් තරයේ හෙලා දැක ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඊයේ පෙරවරුවේ පැවැත්විණි.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයින් විසින් මෙම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන කරුණු 15 කින් අදාළ ඒකාබද්ධ නිවේදනය සමන්විත වන අතර උතුරු කොරියාව විසින් අත්හදා බැලු දිගු දුර මිසයිලය පිලිබඳවද දෙරටේ රාජ්‍ය නායකයින් මෙලෙස අදහස් පල කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වේ.

මෙහිදී මිසයිල අත්හදා බැලීම තරයේ හෙලා දැකීම සම්බන්ධයෙන්ද ඊට අදාළ එක්සත් ජාතීන්ගේ අරක්ෂක මණ්ඩල යෝජනා සම්මත මඟින් පනවා ඇති සම්බාධක විශ්වසනීය ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට සිට කෘතඥතාව පල කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සක්ක්‍රීය වශයෙන් සහයෝගීතාව දැක්වීමට දෙරටේ රාජ්‍ය නායකයන් එකඟ වී ඇති බව සඳහන්ය.

එමෙන්ම උතුරු කොරියානු න්‍යෂ්ටික අර්බුදය සාමකාමීව විසඳීම සඳහා අර්ථවත් සංවාදයක් යලි ඇරඹීමේ වැදගත්කම ද මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයින් පෙන්වා දී තිබේ.

කොරියානු අර්ධද්වීපයේ ස්ථිර සාමය ස්ථාපනය කිරිම සඳහාත් කොරියානු ජනරජය විසින් දරනු ලබන ප්‍රයත්නවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පූර්ණ සහය පල කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS