මාස තුනක කුලී මුදල් අය නොකෙරේ



කො⁣රෝනා  වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සීටි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මෙම තීරණයට එළැඹ ඇත.

කටුනායක ගුවන් තොටුපළේ සේවා සපයනු ලබන ආයතන හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය දා (15) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට ගෙන ඇති බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මේ අනුව පිටවීමේ හා පැමිණීමේ පර්යන්තයේ ඇති තීරු බදු රහිත සාප්පු, සේවා ආයතන හා සංචාරක සේවා කුටි වලින් මාස 03 ක කාලයක් මාසික කුලිය අය නොකෙරන අතර එය මේ වසරේ මාර්තු 19 සිට මාස 03ක කාලයකට වලංගුවේ. ඊට අමතරව ගුවන් තොටුපළ තුළ සිය සේවා කුටි පවත්වා ගෙන යනු ලබන ගුවන් සමාගම්වලින් 2020 අප්‍රේල් මාසයේ සිට මාස 03 ක කාලයක් සදහා මාසික ගාස්තු අය නොකෙරෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.

මීට අමතරව ගුවන්තොටුපළ භාණ්ඩ ගබඩා කර තැබීමේ (Cargo) පහසුකම් ලබා ගන්නා ආයතනවලින් අප්‍රේල් මාසයේ සිට මාස 03ක කාලයක් සදහා ඔවුන්ගේ මාසික ගාස්තුවෙන් සියයට 50 ක් පමණක් අය කිරීමට ද තීරණය කර තිබේ.

රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනයේ ගුවන් යානා නතර කර තැබිමේ ගාස්තු ද 2020 මාර්තු 19 සිට මාස 03 ක කාලයක් සදහා අය නොකිරිමට ද රජය තීරණය කර ඇත.

මාස 03 ක මෙම සහන කාලයෙන් පසුව මෙම සහන තවදුරටත් ලබා දෙනවද නැද්ද යන්න පිළිබද ව නැවත සලකා බලන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

මේ වන විට කටුනායක ගුවන් තොටුපළ මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් වුව ද සංචාරක, ගුවන් සේවා වැනි ක්ෂේත්‍ර  යථා තත්ත්වයට පත් වීම සදහා තවත් කාලයක් ගතවනු ඇත. මේ නිසා මෙම සහන සම්බන්ධයෙන් ජුනි මාසයේ දී නැවත සලකා බැලීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS