පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නිවේදනයක්



ශ්‍රී ලංකා රජය සහ එරට ජනතාවට අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවකදී සහාය දීමට සූදානම් යැයි පොදු රාජ්‍ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඞ් වෙනුවෙන් ඇයගේ ප්‍රකාශක විසින් එම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලය සහ මහලේකම්වරිය ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කළ බව දැනගන්නට ලැබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු කාර්යභාරයේ වැදගත්කම මෙහිදි අවධාරණය කළ යුතුය. එම නිසා පාර්ලිමේන්තුව රැස්වී වත්මන් අර්බුදය කඩිනමින් විසඳාගනු ඇතැයි පොදු රාජ්‍ය මණ්ඩලය බලාපොරොත්තු වෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ සාමාජික රටවල් 2012 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තියක් අනුමත කළා. එහිදි රාජ්‍ය, ආණ්ඩු, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජයේ වගකීම විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සහ පිළිවෙත් පවත්වාගෙන යෑමටත් ප්‍රවර්ධනය කිරීමටත් සියලු පාර්ශව බැඳි සිටින බව සිහිපත් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යන බව සුරක්ෂිත කිරීමට සහ පලදායී සහ අර්ථවත් සංවාදයක් පවත්වාගෙන යන්නැයි පොදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සහ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජාත්‍යන්තර පාර්ශවකරුවන් හා එක්ව ශ්‍රී ලංකා රජයට සහ එරට ජනතාවට ඔවුන් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී අවශ්‍ය සහයෝගය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලය සූදානම් බවද සඳහන් කළ යුතුයි”.

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ සාමාජික රටකි. මේ අතර ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යැයි එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් පසුගිය සතියේදී පැවැසීය. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS