පුද්ගල ඝාතනයට සැකපිට ලාංකිකයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට



ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේදී ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විසි හත් හැවිරිදි ලාංකිකයෙකු සහ 30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.

මෙම ඝාතනය ඔවුන් දෙපළ විසින් සිදු කළ බවට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් තිබූ අතර සැකකාර ලාංකිකයා සහ ඉන්දියානුවා අත්අඩංගුවට ගැනීමට මැලේසියානු පොලීසිය විසින් දියත් කළ සෝදිසි මෙහෙයුම් වලින් පසුව ඊයේ (12) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන් දෙදෙනා එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා ක්වාලාලම්පූර් නුවරට තදාසන්න පදාන්ග් බුලුහ්  ප්‍රදේශයේදී සිය මිත්‍රයෙකු වන 49 හැවිරිදි තවත් ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර එම ප්‍රදේශයෙන්  පලා ගොස් තිබිණි.

ඝාතනයට ලක් වූ ලාංකිකයා එරට සේවය කරමින් සිටි අයෙකු වන අතර ඔහු ඝාතනය වීමට මොහොතකට පෙර  සිය බිරිඳ සමඟ අන්තර්ජාල වීඩියෝ දුරකථන ඇමතුම් හරහා කතාබස් කරමින් සිටින අවස්ථාවකදී සැකකරැවන් දෙදෙනා ඝාතනයට ලක්වූ තැනැත්තා ගේ නවාතැන්පොළට පැමිණෙන අයුරු දැක තිබූ ඔහුගේ බිරිය විසින් මේ බව මැලේසියානු පොලීසියට දැන්වීමේ පසුව මෙම ඝාතනය ඔවුන් විසින් සිදු කර ඇති බවට තහවුරු වී තිබේ.

තිදෙනා අතර සිදු වූ බහින් බස් වීමක් හේතුවෙන් ඇතිවූ කෝපය මත හිසට පහරදී දුන් බවත් ,ඉන්පසු එම ලාංකිකයා සිද්ධිය වූ ස්ථානයේම මියගිය බව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයා ගෙන් හා ඉන්දීය ජාතිකයා ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් දෙපළ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ක්වාලාලම්පූර් රැඳවුම් බාරයට පත් කොට ඇති අතර අද (13) දිනයේ ඔවුන් එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS