පහේ කණ්ඩායමෙන් ලංකාවට චෝදනා



පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් පහක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ජිනීවා මනාව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසිවාරයට සහභාගි වෙමින් එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝව යන රටවල් පහේ කණ්ඩායම පසුගිය 30 වැනිදා මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මාර්තු මාසයේ සිට කොවිඞ් 19 වසංගතය පාලනය නිසා කලාපයේ සාමාන්‍ය අගයට වඩා අඩුමට්ටමකින් කළමනාකරණය කළද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ  මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළ ආකාරයට වසංගතය මැඬපැවැත්වීම සඳහා මානව හිමිකම් කඩවන අසාමාන්‍ය  ක්‍රියාමාර්ග නොගත යුතු යැයිද මෙම රටවල් පහේ කණ්ඩායම මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ සිය ඒකාබද්ධ පකාශයේ සඳහන් කර ඇත.

සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම, යුද සමයේ මනාව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ල වූ නිලධාරීන්ට උසස් වීම් ලබාදීම පිළිබඳවද මෙම රටවල් පහේ කණ්ඩායම ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ඇති බවද එම ජිනීවා තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

එසේම නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති නමුත් මෙතෙක් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර නොමැති බවද රටේ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරිකරණයට ලක්කරමින් සිටින බවද එම රටවල් පහේ කණ්ඩායම ශ්‍රී ලංකාවට වැඩිදුරටත් චෝදනා එල්ල කර තිබේ.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS