නව තානාපතිවරු පත් කෙරේ



විදෙස් රටවල් කිහිපයක් සඳහා නව තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ලෙස නම් කර ඇති 13 දෙනාගේ පත්වීම්වලට උසස්  නිලතල  පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය  හිමිව ඇතැයි  විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කළ මෙම නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් 13 දෙනා අතර වෘත්තීය රාජතාන්ත්‍රික නිලධාරීන් 09 දෙනෙකු සිටින බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

උසස්  නිලතල  පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියෙන් පත් කරනු ලැබ ඇති නව දූත මණ්ඩල ප්‍රධානීන් දහතුන් දෙනා අතර, නයිජීරියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් ඒ. එස්. ඛාන් මහතා, කුවේට්යේ නව  ශ්‍රී ලංකා තානාපති ලෙස යූ. එල්. මොහමඞ් ජවුහර් මහතා , කොරියාවේ නව  ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ඒ. එස්. යූ. මෙන්ඩිස් මහතා, ජෝර්දානයේ නව  ශ්‍රී ලංකා තානාපතිනි එස්. ශානිකා දිසානායක මහත්මිය, වියට්නාමයේ නව ශ්‍රී ලංකා තානාපති ඩබ්. ජී. එස්. ප්‍රසන්න මහතා, නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස හිමාලි අරුණාතිලක මහත්මිය, කියුබාවේ නව ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා, ඉතියෝපියාවේ නව ශ්‍රී ලංකා තානාපති පී. ආර්. එස්. සුගීෂ්වර ගුණරත්න මහතා සහ ලෙබනනයේ නව  ශ්‍රී ලංකා තානාපති ලෙස ඩී. පී. සී. ඩබ්. කරුණාරත්න මහත්මියද පත් කරනු ලැබ ඇත.

මීට අමතරව ඕස්ටේ්‍රලියාවේ නව ශ්‍රී  ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ජනාධිපති නීතීඥ හා මානව හිමිකම් පිළිබඳ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරී නීතීඥවරයෙකු වන ජේ. සී. වැලිඅමුණ මහතා, මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙෂ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් කපිල ජයම්පති මහතා, මාලදිවයිනේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස්  වශයෙන් හිටපු අතිරේක මිනුම්පති නිමල් කරුණාරත්න මහතා සහ කටාර්හි නව ශ්‍රී ලංකා තානාපති ලෙස ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපදේශක හා ව්‍යාපාරික කිත්සිරි ඇතුලත්මුදලි මහතාද  පත් කර ඇත.

ශ්‍රී  ලංකාව විදේශ රටවල තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල පනස් දෙකක් පවත්වාගෙන යන අතර මෙම නව පත්කිරීම සමඟ දැනට සිටින තානාපතිවරුන් ගෙන් සියයට 54 ක්ම ශ්‍රී ලංකා විදේශ සේවයේ නිරත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් යැයි ද අමාත්‍යාංශය කියා සිටී

මේ වසරේ දී පත්කරනු ලැබ ඇති දූත මණ්ඩල ප්‍රධානීන් 27 දෙනාගෙන් 23 දෙනෙකුම ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නිලධාරින් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS