තවත් ලාංකිකයින් පිරිසක් පැමිණීමේ අපේක්ෂාවෙන්



කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශ රටවල් 143 ක සිටින තවත්  ශ්‍රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට පැමිණීමේ  අපේක්ෂාවෙන් සිටින  බව විදේශ සබඳතා අමාත්‍යාංශය පැවසීය .

ඒ අනුව එම රටවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් 3,078 ක්,කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,040 ක්, සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 ක්, ඔවුන්ගෙන් යැපෙන්නන් 3,527 ක් සහ ද්විත්ව පුරවැසියන් 484 ක් සහ වෙනත් අය ද මෙම පිරිසට ඇතුලත් වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

මේ අතර, පසුගිය අ‌ප්‍රේල් 21 වැනි දින සිට මේ දක්වා එතෙර රටවල් 15 ක සිටි ශ්‍රී ලාංකිකයන් 3,600 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති අතර, එම කණ්ඩායම බොහෝ දුරට විදේශවල අධ්‍යාපනය හැදෑරූ සිසු සිසුවියන්, පුහුණුව සඳහා යවන ලද රජයේ නිලධාරීන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් වන බවද විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දේ.

කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශයන්හිදී අධ්‍යාපන ආයතනවල ගැටලුවලට මුහුණ දුන් සිසුන්ට සහ රැකියා ගිවිසුම් කල් ඉකුත් වූ අයට නව රැකියා ගිවිසුම් ලබා ගැනීම සඳහා සමහර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හාපමහ කොමසාරිස් කාර්යාලය  උපකාර කර ඇති බවත් ,එම නිසා විරැකියාව හේතුවෙන් නැවත මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අය ඒ පිළිබදව නැවත සළකා බලන්නැයිද විදේශ සබදතා අමාත්‍යාංශය එම පිරිසගෙන් ඉල්ලා සිටී.

ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන අය පිළිබඳ දත්ත එක්රැස් කරන ලෙස රජය විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට උපදෙස් ලබා දී තිබූ අතර ඒ යටතේ යළි දිවයිනට අපේක්ෂාවෙන් සිටින මෙම පිරිස ගෙන්  අවදානමට ලක්විය හැකි කණ්ඩායම් හඳුනා ගැනීම, ප්‍රමුඛතාවය ලබා දීම සහ නැවත සියරට ගෙන්වා ගැනීම සිදු කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිට.

වි⁣දේශ අමාත්‍යාංශයේ "කන්ටෑක්ට් ශ්‍රී ලංකා " සජීවි අන්තර්ජාල පිවිසුම යටතේ  මේ දක්වා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් 78,033 දෙනෙකු එහි ලියාපදිංචි වී ඇති බව අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු (බහුපාර්ශ්වීය) සහ විදේශීය ශ්‍රී ලාංකිකයන් පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අන්සුල් ජාන් මහතා කියා සිටී.

ඒ සඳහාම කැපවූ කණ්ඩායමක් විසින්, සතියේ දින 7 හි පැය 24 තුළ ම ඵලදායී ලෙස ක්‍රියාත්මක වෙමින්, ප්‍රධාන වශයෙන් නැවත දිවයිනට ගෙන්වා ගැනීම  සහ කොන්සියුලර් ගැටලු පිළිබඳව පමණක් නොව, වෙනත් මෙහෙයුම් සහ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන්ද  විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් යොමු කළ ප්‍රශ්න 7,788 කට විසදුම් ලබා දුන් බවද අන්සුල් ජාන් මහතා කියා සිටියේය.

විශේෂයෙන් අදාළ රටවල ශ්‍රී ලාංකික නියෝජනයක් නොමැති අවස්ථාවල දී, ආහාර අවශ්‍යතාවයෙන් පෙළෙන සහ  හදිසි වෛද්‍ය අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන ශ්‍රී ලාංකිකයන් සමඟ, වියළි සලාක හා ඖෂධ ලබා දීම සහ සමහර අවස්ථාවල නවාතැන් සඳහා පහසුකම් සැලසීමට හැකි වූ බවද හෙතෙම කීය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS