ජී.එස්.පී. ගන්න උත්සාහයක්



ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 122 කට ඇමෙරිකාව දුන් වරණීය වෙළෙඳ තීරුබදු සහනය හෙවත් ජී.එස්.පී. වැඩසටහන යළි බලාත්මක කර ගැනීම සදහා සියලු ප්‍රයත්න දරණ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එසේම එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය මෙම බදු සහනය යලි බලාත්මක කරනු ඇතැයි  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අපේක්ෂා කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු වරණීය බදු සහනය නතර කිරීම සම්බන්ධයෙන් කරැණු පැහැදිලි කරන නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව කියා සිටී.

එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙන් පොදු වරණීය ක්‍රමය යළි බලාත්මක කිරීම පමාවූ පළමුවැනි අවස්ථාව මෙය නොවන බවද එම අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.

කෙසේවුවද, මීට පෙර අවස්ථාවන්වලදී, මෙවැනි පමා වීමකින් පසුව වරණීය වැඩසටහන යළි ක්‍රියාත්මක වූ විට, එසේ පමා වූ කාලය තුළ අපනයනය කරනු ලැබූ අදාල භාණ්ඩ වෙනුවෙන් අය කළ තීරුබදු, ආනයනකරුවන්ට නැවත ගෙවීම පිණිස අතීතයට බලපාන ආකාරයේ වගන්තියක් ඊට ඇතුළත් කොට තිබූ බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

මෙම වැඩසටහන යටතේ භාණ්ඩ වර්ග 3,500 කට ආසන්න සංඛ්‍යාවක් තීරුබදු රහිතව එක්සත් ජනපද වෙළෙඳපොළට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබූ අතර තෝරාගත් නිෂ්පාදිත අයිතම, ස්වර්ණාභරණ නිෂ්පාදනයේදී භාවිතා කෙරෙන අමුද්‍රව්‍ය, බුමුතුරුණු, තෝරාගත් කෘෂිකාර්මික සහ මත්ස්‍ය නිෂ්පාදන, සහ තෝරාගත් රසායනික ද්‍රව්‍ය, ඛනිජ ද්‍රව්‍ය හා කිරිගරුඬ පාෂාණ මෙම භාණ්ඩ අතර වෙයි. කෙසේවුවද, ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට යැවෙන විශාලතම තනි අපනයන භාණ්ඩය වන ඇඟලුම් මෙම වැඩසටහන යටතේ ලැබෙන ප්‍රතිලාභවලට හිමිකම් නොකියන බවද එම අමාත්‍යාංශ නිවේදනයේ සදහන් වේ.

ශ්‍රී ලංකාවද ඇතුළුව, පොදු වරණීය ක්‍රම වැඩසටහනේ ප්‍රතිලාභ ලබන රටවල් සමූහය, එම වැඩසටහන යළි බලාත්මක කරවා ගැනීම සඳහා ප්‍රයත්න දරන අතර, එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය එය යළි බලාත්මක කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශ වැඩිදුරටත් සදහන් කරයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS