ඒකපාර්ශවීය තීරණයක් නොගනු ඇතැයි අපේක්ෂා කරනවා



කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඒකපාර්ශවීය තීරණයක් නොගනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

නැගෙනහිර වරාය පර්යන්තයේ අයිතිය ශ්‍රී ලංකා රජය සතුව තබාගෙන බටහිර පර්යන්තය ඉන්දීය රජය සහ ජපන් රජය නම් කරන පාර්ශව සමඟ එක්ව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රාජය ගත් තීරණයෙන් පසු එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඒ බව පවසා ඇත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රති නැව්ගත කිරීම්වලින් සියයට 70කට සම්බන්ධ වන්නේ ඉන්දියාව යැයි ද ‘ද හින්දු’ පුවත් වාර්තාවේ දැක්වේ.

උපායමාර්ගික වැදගත්කමකින් යුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාව ඉහළ ප්‍රමුඛතාවක් දී ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය.

ඉකුත් ජනවාරි මාසයේදී ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ද මේ සම්බන්ධයෙන් ඉහළ වැදගත්කමක් ලබාදෙමින් සාකච්ඡාවට ලක් කර ඇත.

එම සංචාරයෙන් සතියක පසු නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය කිරීම සඳහා ඉන්දීය රජය අදානී සමාගම නම් කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය සේවකයන්ට ප්‍රකාශ කළ බව එම වාර්තාවේ දැක්වේ.

‘ද හින්දු’ වාර්තාවට අනුව වරාය පර්යන්තය කිසිදු විදේශීය පාර්ශවයකට විකිණීමකින් හෝ බදු දීමකින් තොරව පවත්වාගෙන යන බවත් 2019 වසරේ අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යෑමට සිය ආණ්ඩුව පියවර ගන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

අදාළ අවබෝධතා ගිවිසුමට අනුව නැගෙනහිර පර්යන්තයේ සියයට 51ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන අතර ඉන්දියාවට සහ ජපානයට සියයට 49ක අයිතිය හිමි වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ පාලනය සමයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.


RECOMMEND POSTS