ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුට කොරෝනා



කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන ඉන්දීය ජාතික නිලධාරියකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ලේඛක කාර්ය මණ්ඩලයේ ඉන්දීය ජාතිකයකුට මෙලෙස නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඒ බව අනාවරණය වී ඇත්තේ පසුගිය 13 වැනිදා ය.

ශ්‍රී ලංකා රජය නිකුත් කර ඇති ‘කොවිඩ්-19’ මාර්ගෝපදේශවලට අනුව එම නිලධාරියා මේ වනවිට ශ්‍රී ලංකා රජයේ රෝහලක ප්‍රතිකාර ලබන බව ද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් ද මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

එම කාර්යමණ්ඩල නිලධාරියාගේ රාජකාරි ස්වභාවයට අනුව ඔහු සහ කොමසාරිස් කාර්යාලයේ සිටින අනෙකුත් නිලධාරීන් බොහෝමයක් අතර පවතින්නේ සීමිත සම්බන්ධතාවක් බවත් ඔහු රාජකාරී කටයුතු කිරීමේදී පිටස්තර පුද්ගලයන් සමඟ ගනුදෙනු නොකරන බවත් එසේ වුවත් ඔහුගේ පළමු ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් නියමිත සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුව අදාළ වෙනත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරන ලද අතර නියමිත මාර්ගෝපදේශ අනුව අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි ද ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහ කොමසාරිස් කාර්යාලය සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව ඉදිරියටත් කටයුතු කරන බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.


RECOMMEND POSTS