ඇමෙරිකා තානාපතිනි සමග සාකච්ඡා



විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවක් පසුගිය දෙවැනි දා පස්වරුවේ පැවැත්විණි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ආචාර්ය මාර්ක් ටී. එස්පර් මහතා අතර ඉකුත් දා (30) පැවැති දුරකතන සංවාදයේදී සාකච්ඡා කෙරුණු කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහාත් ඉදිරි පියවර ගැනීම සඳහාත් විදේශ අමාත්‍යවරයා සහ ඇමෙරිකානු තානාපතිවරිය අතර එම සාකච්ඡාව පැවැත්විණි.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර පැවැති සාකච්ඡාවේදී සමුද්‍රීය සහයෝගීතාව, ත්‍රස්තවාදය පිටුදැකීම, ආරක්ෂක සහයෝගීතාවට අමතරව දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ආර්ථික සහයෝගීතාව, ආයෝජන සහ මෙරට ආර්ථිකය ගොඩගැනීම යන කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

විදේශ සබඳතා අමාත්‍යවරයා සහ තානාපතිනිය අතර ඉතා සුහඳ සාකච්ඡාවක් පැවැත්වුණු බවත් ඉදිරියේදී තවදුරටත් සබඳතා ඇති කරගැනීමට හැකි ක්ෂේත්‍ර සහ සහයෝගීතාව ඇති කරගැනීමට හැකි අංශ සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට ලක් කෙරුණු බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS