සිරුරු ආදාහනයට එරෙහිව අතුරු තහනමක් ඉල්ලයි



කොරෝනා වසංගතයෙන් මියයන අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ එච්.ඩී.ඕෂල ‍ලක්මාල් හේරත් නමැති සමාජ ක්‍රියාකාරිකයා විසිනි. ඔහු තම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර ඇත.

කොරෝනා හේතුවෙන් මියගිය අයගේ සිරුරු සම්න්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්ණායක ඇතුළත් ගැසට් නිවේදනය අප්‍රේල් මස 11 වැනි දින රජය විසින්නිකුත් කරන ලදී. පෙත්සම්කරු පෙන්වාදෙන්නේ ලෝක සෞඛ්‍ය සවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව මළ සිරුරු ආදාහනය කිරීම හෝ ‍මිහිදන් කිරීමට හැකියාව තිබෙන බවයි. එසේ තිබිය දී මෙරට මියයන පුද්ගලයන් අදාහානය කළ යුුතුයැයි රෙගුලාසි පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව හෙතෙම පෙන්වාදෙයි.

එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්න යැයි ද පෙත්සම්කරු ඉල්ලා සිටියි.

නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය මගින් මෙම පෙත්සම ගොනුකර ඇත.

 


RECOMMEND POSTS