සති දෙකක් පොදු ප්‍රවාහනය සාමාන්‍ය ජනතාවට නෑ



ජන ජීවිතය යථාතත්ත්වයට පත්කිරීම සඳහා හෙට (11) සිට දිවයින පුරා ඇඳිරිනීතිය ඉවත්කළ ද පොදු ප්‍රවාහන සේවා භාවිතා කළ හැකි වන්නේ රැකියා අවශ්‍යතා සඳහා යන පුද්ගලයන්ට පමණක් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම තීරණයට එළැඹ ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසු ලැබුණු නිර්දේශ පදනම් කරගනිමිනි. අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ හෙට (11) සිට අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් යනතුරු අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා සාමාන්‍ය ජනතාවට පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට ඉඩ නොදෙන ලෙසයි.

ඒ අනුව ලංගම හා ලංකා දුම්රිය දෙපාර්ත‍මේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණි.

එලෙස ප්‍රවාහන සේවා ලබාගැනීමට හිමිකම් කියන සියලු දෙනා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි අසුන් ගැනීම ද අනිවාර්ය වේ. එමෙන්ම මාර්ගවල කෙළ ගැසීමෙන් වැළකීම කිවිසුම් යනවිට හා කහින විට වැළමිට ප්‍රදේශයෙන් මුඛය ආවරණය කරගැනීම අත්‍යාවශ්‍යය.

බස්රථවල හා දුම්රියේ ඇති ආධාරක ස්පර්ශ නොකරන ලෙසත් ඒවා ස්පර්ශ කළහොත් හැකි ඉක්මණින් විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කරගන්නා ලෙසත් මහින්ද අමරවීර අමාත්‍යවරයා ඉල්ලා සිටියි.  

 


RECOMMEND POSTS