වෛද්‍යවරයාගේ අවසන් කටයුතුවලට විරෝධයක්



කොරෝනා හේතුවෙන් මියගිය වෛද්‍යවරයකුගේ සිරුර මිහිදන් කිරීම වැළැක්වීම සඳහා නයිල් ගඟ ආසන්නයේ ගමක රැස්ව සිටි පිරිසක් විසුරුවා හැරීමට ඊජිප්තු පොලිසිය කටයුතු කර තිබේ.

රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙහි දී බාධා කළ පුද්ගලයන් 23 දෙනකු අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බවද ඔහු පවසයි.

මළ සිරුර මිහිදන් කළවිට විෂබීජ පැතිර යා හැකියැයි බියෙන් සුසාන භූමියට සිරුර රැගෙන යාම වැළැක්වීම විශාල පිිරිසක් රැස්ව සිට ඇත. පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඔවුහු විසිර ගියහ.

ඊජිප්තුවේ ආගමික අධිකාරියක් වන ඩාර් අල්-ඉෆ්ටා කියා සිටියේ  කොරෝනා හේතුවෙන් මියයන සියලු දෙනාට ඔවුන්ගේ සම්පූර්ණ ආගමික චාරිත්‍ර ඉටුකරමින් ''මරණය ගෞරවයට පාත්‍ර කළ යුතුයි" යනුවෙනි.

කොරෝනා රෝගයෙන් මියගිය අයගේ සිරුරු හොඳින් සෝදා සිරුර බෑගයක බහා මුද්‍රා කරනු ලබන අතර එයින් කිසිසේත්ම විෂබීජ පිට නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කලීඩ් මෙගාහෙඩ් ප්‍රකාශ කළේය.

ඊජිප්තුවේ සෙනසුරාදා (11) දිනයේ දී නව රෝගීන් 145ක් වාර්තා වූ අතර මරණ 146ක් සිදුව තිබිණි. සමස්ථ රෝගින් සංඛ්‍යාව 1939කි. ඊජිප්තුවේ වෛද්‍යවරු තිදෙනකු මියගොස් ඇති අතර රෝගයට ගොදුරු වූ වෛද්‍යවරු සංඛ්‍යාව 43 දෙනෙකි.


RECOMMEND POSTS