ලෙබනනය තවත් සති දෙකක් වසා දැමේ



කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම රට සම්පූර්ණයෙන් ම වසා දැමීමේ ක්‍රියාවලිය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට ලෙබනන් රජය කටයුතු කර ඇත.

ඒ අනුව අප්‍රේල් 26 වැනි දින දක්වා එරට සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව ලෙබනනයේ තොරතුරු අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා (09) නිවේදනය කළේය.

පසුගිය සතියේ ලෙබනනයේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ බැවින් එරට වැසියන්ට නිවෙස්වලින් පිටතට යාමට අවසර දී ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීමට පමණි. බොහෝ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇත. විදේශගතව සිටින ලෙබනන් ජාතිකයන් යළි පැමිණෙන ගුවන් ගමන් කිහිපයක් සිදුවන අතර ගුවන් තොටුපොළ ද වසා දමා තිබේ.

රාත්‍රී 7.00 ට ඇඳිරිනීතිය පනවන අතර උදෑසන 5.00ට ඇඳිරිනීතිය ඉවත් කළ පසු ආරක්ෂක අංශ විසින් සීමා පැනවීම් ක්‍රියාත්මක කරයි.

බ්‍රහස්පතින්දා (09) වනවිට එරටින් රෝගින් 582ක් වාර්තා වී තිබූ අතර මරණ 19ක් සිදුව තිබිණි.

ලෙබනනය මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින රාජ්‍යයකි.

කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ තොරතුරු අමාත්‍ය මනල් අබ්දෙල් සමද් මහතා කියා සිටියේ රට සම්පූර්ණයෙන් ම වසා දැමීමේ මාසය අවසන්ව තිබෙන බැවින් තවත් සති දෙකක් එම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට තීරණය කළ බවයි. එමෙන් ම මෙම ක්‍රියාදාමයට සහය නොදක්වන පිරිස් සම්බන්ධයේන දැඩි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධ ඉහළ ආරක්ෂක නිලධාරින්ට දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.


RECOMMEND POSTS