බ්‍රිතාන්‍යයේ දී සංචාරකයන් නිරෝධායනයට



කොරෝනා වයිරස වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා විදේශයන්ගෙන් පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් කිරීමට තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍ය රජය පවසයි.

ජුනි මස මුල සිට මෙම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට ගුවන් සමාගම් වෙත උපදෙස් දී ඇති බවත් සංචාරකයන් ස්වයං හුදකලාවීමේ ස්ථානයේ ලිපිනය ගුවන් සමාගම් වෙත දැනුම් දිය යුතු බවත් මේ සම්බන්දව වාර්තා කරන ටයිම්ස් පුවත්පත පවසයි.

බලධාරීන් විසින් මේ ක්‍රියාව අධීක්ෂණය කරන බවත් නීති කඩකරන බව පෙනී ගියහොත් දඩ හෝ පිටුවහල් කිරීමකට මුහුණ දීමට සිදුවන බවත් එහි සඳහන් වේ.

"මෙම පියවර බ්‍රිතාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇත. එය වයිරස සම්ප්‍රේෂණය අඩු කිරීමට උපකාරී වනු ඇත." යනුවෙන් රජයේ මූලාශ්‍ර උපුටා දක්වමින් ටයිම්ස් පුවත්පත පවසයි.

කෙසේ වුවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය හෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්දව කිසිදු අදහසක් දක්වා නොමැත.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම් මෙම තීරණය සම්බන්දව අප්‍රසාදය පලකර ඇති අතර එමගින් ගුවන් සේවා කර්මාන්තය බිඳවැටෙනු ඇතැයි පවසා තිබේ.

ගුවන්තොටුපල ක්‍රියාකරුවන් පවසා ඇත්තේ එම නිරෝධායන නීතිය හේතුවෙන් ගුවන් සේවා කර්මාන්තයට හානි සිදුවන බවයි. අගුලු දැමීම් ඉවත් කළ ද මිනිසුන් ගමන් බිමන් යෑමෙන් වැළකී සිටිනු ඇතැයි ඔවුහු පවසති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එය ගුවන් සේවා කර්මාන්තයට පමණක් නොව ආර්ථිකයට ද විනාශකාරී බලපෑම් ඇති කරන බවයි.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මේ වනවිට බ්‍රිතාන්‍යයේ මරණ 31 241ක් සිදුවී ඇති අතර ආසාදියන් 211 364ක් තහවුරු කරගෙන තිබේ.


RECOMMEND POSTS