ජෝර්දානයේ සීමා ලිහිල් කරයි



කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ජෝර්දානය විසින් පනවා තිබූ සීමා ඊයේ (27) සිට ලිහිල් කිරීමට එරට රජය කටයුතු කර තිබේ. ආර්ථිකයට ශක්තියක් වෙමින් ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට රජය සියලු අංශවලට ඉඩ ලබා දී තිබේ.

දින 40ක කාලයක් එරට ඇඳිරිනීතිය පනවා තිබූ අතර රටේ මිලියන 10ක ජනගහනයකට නිවෙස්වලම රැඳී සිටින ලෙස නියෝග කර තිබිණි. බදාදා එනම් හෙට (29) සිට උදෑසන 8.00ත් සවස 6.00ත් අතර කාලයේ දී පුද්ගලික වාහන ධාවනයට අවසර දී ඇත.

මගීන්ගේ දුරස්ථභාවය තබා ගැනීමටත්, මුහුණු ආවරණ සහ අත්වැසුම් පැළඳීම අනිවාර්ය බවත් රජය නියෝග කර තිබේ. මේ අනුව පොදු ප්‍රවාහන සේවා ආරම්භ වන අතර කුලී රථ සේවා ද නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

රජයේ ප්‍රකාශක අම්ජාඩ් අඩයිලා පවසන්නේ රතු මුහුදේ වරාය නගරය වන අකාබා ද ඇතුළුව දකුණු ‍ජෝර්දානයේ පසුගිය සතියේ ද මෙවැනිම පියවරක් අනුගමනය කරමින් අගනුවර පනවා තිබූ සීමාවන් ලිහිල් කළ බවයි. කොරෝනා වසංගතය පැතිරීම ආරම්භවීමත් සමග දෛනික ජීවිත අඩපණන කරන හදිසි නීතියක් ජෝර්දාන රජු විසින් ප්‍රකාශයට පත්කළ අතර ටික දිනකට පසු ඇඳිරිනීතිය පනවන ලදී. ඒ අනුව සියලු වෙළෙඳ සැල් සහ සේවා ස්ථාන වසා දැමිණි. දෛනික ආදායම් උපයන්නන් තමන්ගේ ආදායම් අහිමිවීම හේතුවෙන් අරගල කරන ලදී.

වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය තාරික් හම්මූරි පැවසුවේ බාබර් සාප්පු, රූපලාවන්‍යාගාර, ඇඟළුම් අළෙවි සැල් සහ විසිතුරු භාණ්ඩ අළෙවි සැල් දක්වා සියලු ව්‍යාපාර නැවත ආරම්භ කළ හැකි බවයි. ''වයිරස් තර්ජනය අඩුවීමත් සමගම සියලු සීමාකිරීම් ලිහිල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා." ඔහු පවසයි.


RECOMMEND POSTS