කොරෝනා වසංගතයෙන් මුදල් ගරන ජාවාරමක්



මෙරට කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන කොළඹ අයි.ඩී.එච්. රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් සඳහා අවශ්‍ය උපකරණවල හිඟතාවක් පවතින්නේ යැයි කියමින් ඇතැම් පිරිස් මුදල් එකතුකිරීමේ යෙදී සිටින බවත් ඒවාට නොරැවටෙන ලෙසත් එම ආයතනයේ අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන්ගේ තනතුර, නම සහ ජංගම දුරකථන අංකය පවා සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කණ්ඩායම් කිහිපයක් මෙලෙස මුදල් හා භාණ්ඩ එකතුකරමින් සිටින බවයි. එවැනි පුද්ගලයන් සඳහන් කර ඇත්තේ අයිඩීඑච් රෝහලට උණුවතුර බෝතල්, ඇඳ ඇතිරිලි ඇතුළු උපකරණ විශාල වශයෙන් අවශ්‍යවනබවයි. කොරෝනා වෛරසය ශරීරගත වූ සහ ආසාදනය වී ඇතැයි සැකකටයුත රෝගින් වෙනුවෙන්ම කාලය ගත කරන අතරතුර මේ හේතුවෙන් දුරකථන ඇමැතුම් විශාල ලෙස පැමිණීම කරදරයක් වී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙවැනි කූඨ ව්‍යාපෘතිවලට නොරැවටෙන ලෙසත් එලෙස මුදල් එකතුකරන පුද්ගලයන් පිළිබඳ පොලිසියට දැනුම් දිමට කටුයුතු කරන ලෙසත් වෛද්‍ය විජේවික්‍රම මහතා ඉල්ලා සිටියි.

ඔහු වැඩිදුටත් කියා සිටියේ අයිඩීඑච් රෝහලේ ප්‍රමාණවත් පහසුකම් සහ උපකරණ තිබෙන බවයි. පැමිණෙන් සියලුම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර හා පහසුකම් සැපයීම තමන් ඇතුළු කාර්ය මණ්ඩලය කරගෙන යන බව ද වෛද්‍යවරයා කියයි.

රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් පමණක් රජයේ තීරණය මත අවශ්‍ය සැපයීම් සිදුකරගන්නා බව ද හෙතෙම පැවසීය.

මෙවැනි වැරදි තොරතුරු සමාජගත කරමින් වසංගතයකට රට මුහුණ දී සිටිය දී මුදල් එකතු කිරීමේ යෙදී සිටින මෙවැනි වංචාකාරී පුද්ගලයන් පිළිබඳ දැනටමත් ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇති බව ද ඔහු කියා සිටියේය.

 

 


RECOMMEND POSTS