කොරෝනා යළි පැතිරේයැයි චීනය බියෙන්



ඊසාන දිග චීනයේ කොරෝනා වයිරසය පැතිරීයාමට ඉඩ ඇතැයි චීන බලධාරීන් ඊයේ (10) අනතුරු අඟවා ඇති අතර ජිලින් පළාතේ එක් ෂූලන නගරය අධි අවදානම් කලාපයක් ලෙස නම්කිරීමට ද කටයුතු කර තිබේ.

පසුගිය මැයි 07 වැනි දා එක් කාන්තාවක් කොරෝනා ආසාදිතය යැයි තහවුරු කරගැනීමට පෙර ජිලින් බලධාරීන් ෂූලන් නගරයේ අවදානම් මට්ටම මධ්‍ය අවදානම් තත්ත්වයේ සිට ඉහළ අවදානම් මට්ටම දක්වා ඉහළ නංවා තිබිණි.

මැයි 09 වැනි සෙනසුරාදා ෂූලන් හි කොරෝනා ආසාදිතයන් 11 දෙනකු තහවුරු වී ඇති අතර ඔවුන්සියල්ලෝම 07 වැනි දා හමුවූ කාන්තාවගේ පවුලේ සාමාජික සාමාජිකාවන් හා ඇයගේ සමීපතම පුද්ගලයෝ වූහ.

මේ හේතුවෙන් නිවාස සංකිර්ණ වසා දැමීම, අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කිරීම, පාසල් වසා දැමීම ඇතුළු වයිරසය පාලනය කිරීමේ මූලික පියවර අනුගමය කර ඇති බව ජිලින් පළාත් බලධාරීන් පවසයි.

පසුගිය බ්‍රහස්පතින්දා චීන රජය රටේ සියලු ප්‍රදේශ අඩු අවදානම් සහිත ස්ථාන ලෙස නිල වශයෙන් නම්කර තිබිණි. කෙසේ වෙතත් ජිලින් හි හමුවූ මෙම පොකුරු වාර්තාවීමට අමතරව ඊසානදිග පළාතේ හයිලොංජියැංහි අග නගරය වන හාර්බින් හි කොරෝනා රෝගියකු වාර්තා වී ඇත. ඒ 70 හැවිරිදි රෝගියකු වන අතර එම තැනැත්තා අප්‍රේල් මස 09 වැනි දින සිට රෝහලක නිරෝධායනයට ලක්කර සිට තිබේ. ‍ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ මැයි මස 09 වැනි දින කරන ලද පරීක්ෂණයකිනි. නමුත් ඊට පෙර හත් වතාවක් ඔහු පරීක්ෂා කිරීම්වලට ලක්කර ඇති බවත් ඒ සියල්ලේම ප්‍රතිඵලය සෘණාත්මක වූ බවත් හයිලොන්ජියැං සෞඛ්‍ය කොමිසම ඉරිදා පවසා තිබේ.

ලියාඕනිං පළාතේ අගනුවර වන ෂෙන්යැන්ග් නගරයෙන් ද ඊයේ (10) ක‍ොරෝනා ආසාදිතයකු තහවුරු වී තිබේ. 23 හැවිරිදි ඔහු මැයි 05 වැනි දා ජිලින් සිට ෂෙන්යැන්ග් වෙත පැමිණ තිබිණි.  

උණ හෝ කැස්ස වැනි කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන අසමමිතික ආසාදිතයන් කොරෝනා වයිරසයේ වාහකයන් ලෙස කටයුතු කිරීම ගැන චීනය කනස්සල්ලෙන් පසුවෙයි. මෙවැනි අසමමිතික ආසාදිතයන් අනාවරණය වන්නේ සම්බන්ධතා සොයා ගැනීමෙන් හෝ PCR පරීක්ෂණ මගින් පමණි.

අප්‍රේල් 03 වැනිදා සිට චීනයේ දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ ආරම්භක රෝගියා එලෙස රෝග ලක්ෂණ නොපෙන්වූ අයෙකි. 89 හැවිරිදි එම පුද්ගලයා ජනවාරි අවසානයේ සිට ඩොන්ග්සිහු දිස්ත්‍රික්කයේ පිහිටි සිය නිවාස සංකීර්ණයෙන් පිටතට ගොස් තිබුණේ නැත. නමුත් ඔහු රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වා සිටිය ද ඔහුගේ බිරිඳ කොරෝනා ආසාදිත බව තහවුරු විය.

ඔහුගේ නිවාස පරිශ්‍රයේ රෝගීන් 20ක් හඳුනාගැණිනි. විශේෂඥයන් පවසන්නේ මෙම නව ආසාදිතයන් ද පෙර පැවැති පළමු කොරෝනා රැල්ලෙන් ආසාදනය වූ අයකුගෙන් පැමිණි වයිරස හේතුවෙන් රෝගී වී ඇති බවයි. මොවුන් රෝග ලක්ෂණ කිසිවක් නොමැතිව ආසාදිත පොකුරු සාදමින් සිටින බව ඒ අනුව පැහැදිලි වේ.

මෙම රෝගීන් සමූහය වාර්තාවීමත් සමගම ඩොන්ග්සිහු දිස්ත්‍රික්කයත් ඊයේ (10) දිනයේ දී පහළ අවදානම් මට්ටමේ සිට මධ්‍යම අවදානම් මට්ටම දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්න් මැයි 09 වැනි දා නව රෝගින් 20ක් වාර්තා වූ අතර එය මැයි 01 වැනිදා සිට වාර්තා වූ ඉහළම අගය බවයි. ඉන් පෙර 08 වැනි දා වාර්තා රෝගීන් 15 මැයි මාසයේ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.

කෙසේ වෙතත් මේ වනවිට චීනනයේ රෝගීන් 82,901 ක් හඳුනාගෙන ඇති අතර මියගිය සංඛ්‍යාව 4,633කි.


RECOMMEND POSTS