ඊශ්‍රායලයේ නගරයක් අඟුළු දමයි



ඊශ්‍රායලයේ  කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වන බෙනී බ්‍රැක් නම් යුදෙව් නගරය සම්පූර්ණයෙන් අගුලු දැමීමට අද(03) එහි බලධාරීහු කටයුතු කළහ.

ඒ අනුව තෙල් අවිව් නගරයට මදක් ඔබ්බෙන් පිහිටි බෙනී බ්‍රැක් නගරයේ පදිංචිකරුවන්ට දැඩි සීමා පනවා ඇති අතර පිටතට යාමට අවසර ලැබෙන්නේ සුවිශේෂී අවස්ථාවන් හි දී පමණක් බව දැනුම් දී ඇත.

ආරක්ෂක හමුදා, අත්‍යාවශ්‍ය සේවා සහ මාධ්‍යවේදීන් හැර වෙනත් කිසිවකුට නගරයට ඇතුළු වීමට ඉඩ නොදෙයි.

පාලන කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඊශ්‍රායල හමුදාවේ පැරෂුට් බලකායේ සෙබලුන් ද යොදවා ඇත.

අගුලු දැමීම සම්බන්දව අදහස් දක්වමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල නිලධාරියෙකු පවසා ඇත්තේ 200 000ක පමණ ජනතාවක් වෙසෙන බෙනී බ්‍රැක් නගරයේ 40%කට පමණ වයිරසය වැළඳී ඇති බවයි.

ඊශ්‍රායලයේ වැඩිම කොරෝනා වයිරස රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ජෙරුසලම් නගරයෙන් වන අතර දෙවැනියට වැඩිම රෝගීන් වාර්තා වන්නේ බෙනී බ්‍රැක් නගරයෙනි.

ඊශ්‍රායලයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින් 7 030ක් සිටින අතර 37 දෙනකු මියගොස් තිබේ.

කෙසේ වුවද සෞඛ්‍ය අංශ පවසන්නේ රටපුරා තහවුරු කර නොගත් රෝගීන් බොහෝ ගනනක් සිටිය හැකි බවයි.

වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා තවදුරටත් සීමා පැනවීමට සිදුවනු ඇතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු අනතුරු අඟවා තිබේ.

එසේ වුවද රජය විසින් වයිරසය මැඩපැවැත්වීම සඳහා නිල ක්‍රියාමාර්ග ගැනීමට පමාවීම කෙරෙහි සමහර අන්තවාදී කොටස් අතර නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.

ඊශ්‍රායලයේ දැඩි ආගමික හේතූන් මත අන්තර් ජාලය හා සමාජ මාධ්‍ය සඳහා ප්‍රවේශය සීමා වී ඇත.

එබැවින් බාහිර ලෝකයෙන් ලැබෙන්නේ් සාපේක්ෂව අඩු තොරතුරු ප්‍රමාණයකි.

මේ හේතුවෙන් සමහර දැඩි ආගමික ප්‍රජාවන් තහනම නොතකා යාච්ඥා, විවාහ මංගල්‍ය ඇතුළු සැමරුම් පවත්වති.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය නෙතන්‍යාහු පැවසුවේ වයිරසයේ බරපලකම සම්බන්දව මහජනයා අතර මේ වනවිට හොඳ අවබෝදයක් ඇතිවී තිබෙන බවත් එය "ධනාත්මක වෙනසක්" බවත් ය.


RECOMMEND POSTS