ඉරානය හා චීනය ඇමෙරිකාවට දොස් කියයි



ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයත් වර්ගවාදයත් හෙළා දකිමින් චීනය සහ ඉරානය ප්‍රකාශ නිකුත් කර ඇත.

චීනය සහ ඉරානය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම ප්‍රතිවාදීන් දෙදෙනා ය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා විරෝධතා පැවැත්වෙන අතර ඒවා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.

වර්ගවාදය ඇමෙරිකානු සමාජය තුළ මුල් බැස රෝගයක් යැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියෑන්ග් අද (2) පැවැසීය. චීනයේ බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය. ඇමෙරිකාවේ පැවැත්වෙන විරෝධතාවලින් වර්ගවාදය කොතරම් විශාල ප්‍රශ්නයක් වී ඇත් ද යන්නත් එහ බරපතළකම මෙන්ම ඇමෙරිකානු පොලිසියේ ප්‍රචණ්ඩත්වය ද පෙනී යන බව ඔහු කීවේය.

ඇමෙරිකානු ආණ්ඩුව සහ පොලිසිය ඔවුන්ගේම වැසියන් ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි අවධාරණය කරන බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්බාස් මුසාවි පැවැසීය.

‘‘අපි ඇමෙරිකානු බලධාරීන්ටත් පොලිසියටත් අවධාරණය කරනවා. තමන්ගෙම මිනිස්සුන්ට එරෙහිව දියත් කරන ප්‍රචණ්ඩත්වය නවත්වන්න. ඔවුන් හුස්ම ගන්න දෙන්න’’ ඉරානයේ තෙහ්රාන් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබ්බාස් මුසාවි ඊයේ (1) පැවැසීය.

‘‘ඇමෙරිකානු ජනතාවට අපි කියන්න ඕනේ. ලෝකය ඔබ සමඟ සිටිනවා’’ යැයි ද ඔහු කීය. ඇමෙරිකානු පොලීසියේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඉරානය කම්පාවට පත්ව ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.


RECOMMEND POSTS