ඇමෙරිකාවේ 10,000ක් අත්අඩංගුවට



සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අතරවාරයේදී 10,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි ඒ.පී. පුවත් සේවය වාර්තා කරයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලමින් පසුගිය සතියේදී ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට ව්‍යාප්ත වී ඇති අතර නගර 150කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇත. සාමකාමීව ආරම්භ වූ විරෝධතා ආරක්ෂක අංශවල මැදිහත් වීමත් සමඟ ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය. කෙසේ නමුත් බදාදා දිනයේදී, විශේෂයෙන්ම බදාදා රාත්‍රියේත් විරෝධතා පැවැත්වුණු අතර පෙර දිනවලට සාපේක්ෂව එම විරෝධතා සාමකාමීව පැවැත්විණි.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලමින් ආරම්භ වූ මෙම විරෝධතා මේ වනවිට පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතා රැල්ලක් බවට පත්ව ඇත. එම විරෝධතා මේ වනවිට ලොවපුරා ප්‍රධාන නගරවලටත් පැතිර ගොස් තිබේ.

නමවැනි දිනටත් පැවැති විරෝධතා අවසන් වෙද්දි දසදහසකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. විරෝධතා පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පනවා තිබුණද ඒවා නොතකමින් රට පුරා විරෝධතා පැවැත්වේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්වූයේ මැයි 25 වැනිදා ය. ඔහුගේ මරණයෙන් පසු අත්අඩංගුවට පත් 3,000කට වැඩි පිරිසකට උපකාර කිරීම සඳහා ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් රැස් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. මේ වනවිට ඊට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ඉක්මවූ මුදලක් ලැබී ඇත.

 

 

 

 


RECOMMEND POSTS