වීසා නැතිව කුවේට් සිටින ලාංකිකයන් අසරණයි



වීසා නොමැතිව නීති විරෝධී ලෙස රැඳී සිටින සියළුම විදේශිකයන්ට ඉක්මණින් තම රටෙන් පිටවන ලෙස කුවේ‍ට් රජය විසින් නියෝග කර ඇති බැවින් ශ්‍රී ලාංකිකයන් 5000ක පමණ පිරිසක් අසීරුතාවට පත්ව සිටිති.

කොරෝනා ‍වයිරසය පැතිරයා‍ම හේතුවෙන් එරට රජය මෙම නියෝගය නිකුත් කර ඇත. කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසන්නේ වීසා බලපත්‍ර නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස 5000ක පමණ වන බවයි. මේ හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස එම සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

කුවේට් රජය මේ වනවිට එරට ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් වීසා නොමැතිව රැඳී සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ රැකියා අහිමිව අහාර පාන, වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ පවා ලබාගත නොහැකිව අතිශයින්ම අසරණව සිටින බව කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානයේ කැඳවුම්කරු සංජීව මඩපාත මහතා පවසයි.

''වීසා නොමැතිව සිටින අයට වහාම රටින් පිටවන ලෙස නියෝග කරලා. ඔවුන්ට අවශ්‍ය ගුවන් ටිකට් සහ ගුවන් යානා පවා නොමිලේ ලබාදෙන බව කුවේට් රජය ප්‍රකාශ කර තිබෙනවා. මේ වනවිට රටවල් කිහිපයක් ම කුවේට්වල වීසා නොමැතිව සිටින අය ඉවත් කරගෙන. වීසා නැතිව ඉන්න අපේ රටේ අයත් ගෙන්වාගන්න කියා අපි කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ අය කරුණාකරලා ගෙන්වා ගන්න කියා. ඔවුන් හැකි පමණ කාලයක් නිරෝධායනය කරලා රටට භාර ගන්න කියලා. මේ වනවිටත් අපේ පිරිසක් කොරෝනා රෝගයට ගොදුරුවෙලා තියෙනවා. "

ගීතාංජලී ප්‍රියදර්ශනී


RECOMMEND POSTS