රථ ගාල දැඩි සත්කාර ඒකකයක් වෙයි



කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 130කින් සමන්විත නව දැඩි සත්කාර ඒකකයක් හමුදා රෝහලක බහු මහල් රථගාලක පිහිටවූ බව බහරේන් රජය පවසයි.

සඳුදා දිනයේ දී පමණක් නව ආසාදිතයන් 161ක් වාර්තා වූ අතර ඉන් වැඩි පිරිසක් විදේශීය ශ්‍රමිකයන් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. අඩු ආදායම්ලාභී විදේශීය ශ්‍රමිකයන් අතර කොරෝනා ආසාදනය දක්නට ලැබීමෙන් පසු බොහෝ ‍රටවල් කොරෝනා පරීක්ෂණ වඩාත් වේගවත් කර තිබේ. ගල්ෆ් කලාපයේ අරාබි රටවල් අතර වාර්තා වී ඇති රෝගීන් ගණන 16,500 ඉක්මවා ඇති අතර මරණ 100කට වඩා වාර්තා වී තිබේ.

මනමා අගනුවරට දකුණින් පිහිටි රිෆාහි බහරේන ආරක්ෂක හමුදා රෝහලේ මෙම නව දැඩි සත්කාර ඒකකය ස්ථාපිත කර තිබේ. රට පුරා තවත් ක්ෂේත්‍ර ඒකක පිහිටුවීමෙන් පසු ඇඳන් 500ක් දක්වා ධාරිතාව ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

වයිරසය පැතිරීම වැළැක්විම සඳහා බහරේනයේ මේ දක්වා ඇඳිරිනීතිය පනවා නොමැති අතර ප්‍රදේශ කිහිපයක් පමණක් වසා දමා තිබේ. එරට ජාතික ගුවන් සේවය තවමත් ඇතැම් ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. එසේ වුව ද පාසල් ඇතුළු පොදු ස්ථාන වසා දමා ඇත.

 


RECOMMEND POSTS