තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පැමිණිල්ලක්



රාජ්‍ය නිලධාරීන්ගේ ''සුළු සුළු අඩුපාඩු'' සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට සූදානම් වීමක් බව සඳහන් කරමින් තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලේ දැක්වෙන්නේ රජයේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ හෝ අතින් සිදුවන අඩුපාඩු ''සුළු අඩුපාඩු" යනුවෙන් තක්සේරු කිරීමේ හැකියාවක් පොලිසියට ‍නොමැති බවයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අඩුපාඩු සහ දුර්වලතා පෙන්වදීම වැදගත් ගුණාංගයක් බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.

''ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසකම් ලෙස පිළිගන්නා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස නඩු තින්දු ගණනාවකින් ශක්තිමත් කර තිබේ. නමුත් එම නිවේදනය අනුව සුළු අඩුපාඩු පෙන්වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස්පතිවරයා පොලිසියට උපදෙස් ලබාදීම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. දරුණු වසංගතයක් ලෝකයේ සහ රටේ ව්‍යාප්තවන මෙවැනි අවස්ථාවක අසත්‍ය තොරතුරු පාලනය කිරිම සහ වෛරීසහගත ප්‍රකාශ පාලනය කිරීම අතිශයින් ම වැදගත් බව අපි පිළිගන්නෙමු. එහෙත් ඊට මුවා වී භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමට ඉඩදිය නොහැකිය."

ඔවුන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදනය සහ එහි සඳහන්වන ආකාරයට පොලිස්පතිවරයා විසින් පොලිසිවලට යවන ලද නියෝග ගැන වහාම විමර්ශනයක් පවත්වන ලෙසයි. එමෙන්ම භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව ගැනෙන ක්‍රියාමාර්ග නතර කිරීමට සහ ජාතිවාදය අවුස්සමින් ජාතීන් අතර ගැටුමක් ඇතිකිරීමට දරන උත්සාහයන් නතර කිරීමටත් අවශ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස ද මෙමගින් ඉල්ලා ඇත.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම පැමිණිල්ලේ පිටපත් වැඩබලන පොලිස්පතිවරයාටත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, තරුණ නීතිඥ සංගමය සහ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙතත් යොමුකර ඇත.


RECOMMEND POSTS