‘පද්මාවත්’ වාර්තා බිඳ දමයි



බොලිවුඞ් සුරූපිනී දීපිකා පදුකෝන්, රන්වීර් සිං සහ ෂාහිද් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන ආන්දෝලනාත්මක ‘පද්මාවත්’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමා ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ආන්දෝලනාත්මක ‘පද්මාවත්’ චිත්‍රපටය තිරගත වීම ඇරැඹුණේ පසුගිය 25 වැනිදාය. ඉන්දියාවේ පමණක් නොව, රටවල් රැසක ‘පද්මාවත්’ චිත්‍රපටය තිරගත වෙයි. විරෝධතා හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත හතරක පමණක් චිත්‍රපටයට ප්‍රදර්ශනය නොකෙරේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ චිත්‍රපටය තිරගත කර දෙවැනි දිනය වෙද්දී, එය ඉන්දීය රුපියල් කෝටි 56 ක් උපයා ඇති බවය.

ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ සංශෝධනවලට ලක් වී, පද්මාවත් බවට පත් වුණේ ‘පද්මාවතී’ චිත්‍රපටයයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලි පවසා ඇත්තේ චිත්‍රපටයට නිර්මාණයට ඉන්දීය රුපියල් කෝටි 190 ක් වැය වුණු බවය.

‘පද්මාවත්’ චිත්‍රපටයේ ‘පද්මාවතී’ රැජින ලෙස දීපිකා පදුකෝන්ගේ රංගනය විශිෂ්ට බවත්, ඇය ඉදිරියේ දී නිසැක වශයෙන්ම සම්මාන රැසකට පාත්‍ර වනු ඇති බවත් සිනමා විචාරකයන්ගේ අදහස වී තිබේ.

මීට පෙර, මේ අයුරින් දීපිකා පදුකෝන්, රන්වීර් සිං සහ ෂාහිද් කපූර්ට මෙතරම් ප්‍රසිද්ධියක් හෝ ජනප්‍රිවයත්වයක් ලැබී නැති බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

‘පද්මාවත්’ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ‘පද්මාවත්’ යන නමින් නම් කළ සූෆි මුස්ලිම් කවියකු වන මලීක් මුහම්මද් ජයාසිගේ කාව්‍යයක් පාදක කර ගනිමිනි.

‘පද්මාවත්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රාන්ත සහ පළාත් රැසක තවමත් විරෝධතා ඇවිළෙමින් පවතී. පසුගිය 25 වැනිදා, චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී, ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ ගර්ගොන් නගරයේ ද ප්‍රචණ්ඩ විරෝධතා පැවැත්විණි. එහිදී හින්දු අන්තවාදී ‘කර්ණි සේනා’ කණ්ඩායමේ උසි ගැන්වීමෙන් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් සිදුවිය. පාසල් සිසු දරු දැරියන් ගමන් කරමින් සිටි බස් රියකට ද ප්‍රහාරයක් එල්ල විය.

බස් රියට ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ‘කර්ණි සේනා’ හින්දු අන්තවාදී කණ්ඩායමේ නායක ථාකූර් කුෂල්පා ඇතුළු 24 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව දිල්ලි පොලිසිය කියයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS