හෙන්රි කවීල් සුපර්මෑන්ට සමුදෙයි



පසුගිය පස් වසරක කාලයේ ඩී.සී. චිත්‍රකතා සුපිරි වීරයා ‘සුපර්මෑන්​’ ගේ චරිතය රිදී තිරයට ගෙනා හෙන්රි කවීල් පවසා ඇත්තේ තමන් මින් ඉදිරියට සුපර්මෑන් ලෙස එම චරිතයට පණ පොවන්නේ නැති බවය.

මේ බව සුපර්මෑන් චරිතය ඇසුරින් සිනමා නිර්මාණ එළිදක්වන වෝනර් බ්‍රදර්ස් සමාගම ද තහවුරු කර ඇත. සුපර්මෑන් චරිතයෙන් හෙන්රි සමුගැනීමට තීරණය කර ඇත්තේ වෝනර් බ්‍රදර්ස් සමාගම සමඟ ඇතිවුණු මත ගැටුමක් මුල්කොට ගනිමින් යැයි ද පැවැසෙයි.

වෝනර් බ්‍රදර්ස් සමාගම තවත් ඩී.සී. චිත්‍රකතා වීරයකු වන ‘ෂසෑම්’ගේ චරිතය ඇසුරින් ලබන වසරේ චිත්‍රපටයක් එළිදැක්වීමට සූදානමින් සිටී.

ෂසෑම් යනු ග්‍රීක දෙවිවරුන්ගේ හැකියාවන් ඇති, මැජික් බලයෙන් පණ ලබන සුපිරි වීරයෙකි. ​‘ෂසෑම්’ යන නම හඬ නැගීමෙන්, ෂසෑම් හෙවත් කැප්ටන් මාවල් බවට පරිවර්තනය වන්නේ බිලී බැක්ස්ටන් නමැති ගැටවරයාය.

ෂසෑම් චිත්‍රපටයේ ඉතා කෙටි දසුන් පෙළකට සුපර්මෑන්ගේ චරිතය සම්බන්ධ කිරීමට වෝනර් බ්‍රදර්ස් සමාගම තීරණය කර ඇත.ඒ සඳහා හෙන්රි කවීල්ට ඇරැයුම් කෙරුණි. වෙනත් රංගන කටයුතු තිබෙන බැවින් හෙන්රි කවීල් එම ඇරැයුම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, සුපර්මෑන් චරිතය සඳහා වෙනත් නළුවකු තෝරා ගැනීමට තමන් තීරණය කරන බව වෝනර් බ්‍රදර්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

හෙන්රි කවීල් මේ වනවිට නෙට්ෆ්ලින්ස් සමාගමේ ‘ද විචර්’ නමැති රූපවාහිනී ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතය වෙනුවෙන් රංගන කටයුතුවල නියැලෙන බව වාර්තා වේ. ‘ද විචර්’ යනු ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවක් පාදක කර ගනිමින් නිර්මාණය කරනු ලබන ටෙලි කතා මාලාවකි.

2013 වසරේ ‘මෑන් ඔෆ් ස්ටීල්’ චිත්‍රපටයේත්, ඉන්පසු තිරගත වුණු ‘බැට්මෑන් වර්සස් සුපර්මෑන්’ චිත්‍රපටයේත්, පසුගිය වසරේ තිරගත වුණු ‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටයේත් සුපර්මෑන් සහ ක්ලාක් කෙන්ට්ගේ චරිතයට පණ පෙව්වේ හෙන්රි කවීල්ය. පසුගියදා තිරගතවීම් ආරම්භ කළ ටොම් කෘස් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘මිෂන් ඉම්පොසිබල්: ෆෝල් අවුට්’ චිත්‍රපටයේ නපුරකුගේ චරිතයට පණ පොවන්නේ ද හෙන්රි කවීල්ය.

වෝනර් බ්‍රදර්ස් සමාගම පවසා ඇත්තේ ලබන වසරේ දී ඔවුන් සුපර්මෑන්ගේ ඥාති සොයුරිය සුපර් ගර්ල්ගේ චරිතය ඇසුරින් ඇගේ කතාව සිනමාවට නගන බවය.

මේ වනවිටත් වෝනර් බ්‍රදර්ස් සමාගම සුපර් ගර්ල්ගේ චරිතය ඇසුරින් රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය කර ඇති අතර, මේ වනවිට එය සාර්ථකව විකාශය වෙයි.

ඉදිරියේදී නිර්මාණය වන සිනමාපටය සහ මෙම රූපවාහිනී කතා මාලාව අතරේ කිසිදු සම්බන්ධයක් නැති බව ද වෝනර් සමාගම වැඩි දුරටත් පවසා ඇත. රූපවාහිනියේ විකාශය වන සුපර් ගර්ල් කතා මාලාවේ සුපර් ගර්ල් ලෙස චරිත නිරූපණය කරන්නේ මලීසා බිනොයිස්ට්ය.

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS